Showing posts with label කවි - Poetry. Show all posts
Showing posts with label කවි - Poetry. Show all posts

Sunday, August 09, 2020

මගේ කව

වසන්තයේ එක දවසක සිට
නිදිවරා මුළු සෘතුවම
වැරදි වැරදී පිටු ගාණක
කුරුටු ගෑවුණු
මගේ කව

ග්‍රීෂ්මයත් මුදුන් වී
තවමත් පෑන ඇදි ඇදී
පැටලි පැටලී දැන්
තවත් ලියවෙන
ඒ කව

පමාවෙන් රස නොරස වී
විඩාවෙන් සිත බර වී
නොලියූ කලෙක මෙන්
අරමුණත් නැතිවූ
උඹට ලියූ කව

යැවුවා තැපෑලෙන්
ඉරිදා පත්තරේට

Tuesday, July 16, 2013

බලාපොරොත්තුව

කඳුළක දියවී
රූටා පතිතවී
වියළුණු මහ පොළවට
උරා සැඟව ගිය
බලාපොරොත්තුව

මේ මහ පොළවේම
කොහේ හෝ
රැඳී ඇති බවම පමණක්
දනිමි!

Friday, May 25, 2012

ගංකරේ ගිය මුණුබුරා


ඈත දීපංකරේ නෑදෑ ගෙදරක
වරෙං පුතේ යන්ඩ
උන්ට නොකිය කොහොමද
පුංචි අම්මගෙ කසාදෙ!
මාවත් එක්කරං අත්තම්ම
නැගගෙන බස් එකකට
ගියා මගුලට බුලත් දෙන්නට


එකින් එකට මාරුවෙවී
දොර දෙකේ බස්
තනි දොරේ බස්
අන්තිමට දොර පළුවකුත් නැති
වහලෙ උස වෑන් කබලක
ගිහින් බැස්සා වෙලක් අද්දර


වෙල දිගේ ගුරු පාරෙ
අත්තම්මගෙ පොඩිකාලෙ
මතක දිග ඇරගෙන දුවයි
අතින් ඇදගෙන මාව
ගල් දෙබුක්කාවක නාන ළිඳ 
ලඳු කැලෑ - රබර් වතු
පහුකරං එක හුස්මට


අන්තිමේ
පාරකට දෙකකට වඩා නොදැකපු
නෑගෙදර නෑදෑයො
ආගිය මග කතා
තේ බිස්කට් සංග්‍රහ
මගුල් ආරාධනා!


වැටී රෑ කළුවරත්
ලාම්පු එළියෙන් සෙමෙන්
අපට ලැබුණු ඉස්තෝප්පු කාමරේ
ඇඳට ගොඩවෙලා
නුහුරකුත් ගැස්මකුත්
හිරි ගැහුන නිසා හිත ඇතුලෙ


මිමිනුවෙමි අත්තම්මගෙ කනට
"අත්තම්මෙ, මෙහෙ ලයිට් නැද්ද?
අපි හෙට උදෙම්ම ගෙදර යං?"

Tuesday, November 08, 2011

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී...

තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදී
ලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටී
රුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටී
පිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටී

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී
නෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතී
ගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදී
පානා විරිය ඇත්නම් දිය කුදුයි සිතී

අඩියෙන් අඩිය ගලපාලා මගක් සොයා
පවුරෙන් පවුර රිද්දාලා සවිය සදා
දාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවා
රන් මල හොවා රන් සිවිගෙයි දියත දිනා



පසු වදන: බොහොම කාලෙකට පස්සෙ කවියක් ලිව්වෙ. ඇත්තටම කියනවනං මේ අවුරුද්දට පල කරන තුන්වෙනි ලිපිය. අවුරුද්ද ඉවර වෙන්නත් ඔන්න මෙන්න. කොහොම කොහොම හරි ඒ වැඩෙත් ඇදි ඇදී යතේ තමා.

මේ කවියත් එක පාරටම ලියවුනේ පොඩි හේතුවකුත් එක්ක. ළඟදි මුණගැහුණු මිතුරෙකුගෙ කවියක් දැකලා. ෆවුසාන් මලය පොඩිඑකා උනාට ලියපු කයිය බලන්න එපායැ. ඒත් එක්කම අද හවස හම්බුණු සිතූ නගා අහපි දැං බ්ලොග් ලියන්නෙ නෑ නේද කියල. නෑ තමා. මක්කරන්නද? ඒ අතරෙ ගෙදර ආව විතරයි, දැක්ක අපේ ලිෂාන් ගෙ ලස්සන කවි පොඩ්ඩක්. ඒකට කමෙන්ට් පාරකතු දැම්ම. මේ ඔක්කොම හින්දද මන්ද කොහොම කොහොම හරි මගෙ කවියෙ පේලි ටික ගැටගැහුණා. ඔක්කොමට බොහොම පිං! :D

Wednesday, August 03, 2011

ඊළඟට...

අහසෙ දිග ඇදි වළා
කහ ගහල එහෙ මෙහෙන්
ඉඟි පපා ගොම්මන
කඩුල්ල ළඟටම ඇවිත්

දැං පනී දැං පනී
සැලී හිත ගැහෙන හැටි
ආසනෑ ආයෙමත්
ආවොතිං ඉනි උඩිං

ඊළඟට පැල් කොටේ
වටකරං මුළු මිදුල
එන්න දත මදින්නේ
හද්දා කළුවරමනං...

Tuesday, May 17, 2011

බුදු පොතට...

ගිණි පිඹින මහ පොළවෙ
දෙපා අදිමින් ඔහේ
අඩවන්ව පියැවිගත්
දෑස් නොදකින ඉමේ
රක්ත වන් දුමාරයෙ
ගැලී මත්වී ලෙසේ
ඉබාගාතේ දිවෙන
සොඳුරු නූතන යුගේ

මිරිඟුවෙන් සැබෑ දිය
වෙන් කරන පාඩමේ

අ යනු ආ යනු යළිත්
රැව් දෙන්න බුදු පොතේ
බිඳෙන් බිඳ සිත් සතන්
සැනහෙන්න මේ ලෙසේ
සත් දනෝ පොදි බැඳන්
සැරසෙන්න මේ දිනේ

Wednesday, October 20, 2010

පෙම් කෙලිය

කකියනව ඔලු ගෙඩිය
හිතලම උඹ ගැන
වෙන කිසිම දේකට
ඉස්පාසුවක් නෑ...

කැකෑරෙන ගොඩක් දේ
හිත ඇතුලෙ පොදි ගැහෙන
හම්බුවෙන ටික මොහොත
මදි හින්ද කියාගන්න
නින්දෙනුත් සාමීචියෙ
උඹ එක්ක...
හොඳ - නරක වාදෙ
හැමදාම වගේ...

ඒත් මොකද ඉතිං
පෙරේද බලපු හින්දියෙ වගේ
අන්තිමට හැමදේම
සතුටෙන්ම අහවර වේවි...!

Friday, September 17, 2010

ඔබේ දෑසින්...

අද දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල උතුමන්ගේ 146 වැනි ජන්මදිනය වෙනුවෙනි...

ඔබේ දෑසින්
අපේ හෙට දැක
යෙදූ දහිරිය
දැයේ සත වෙත

දෑත් දිගු කර
වැළඳ ගත්තද අප?

කට කොනින්
ඉඟි බිඟි සිනා පා
අවඥාවන් පොදි වලින්
දමා ගැසුවා පමණමැයි...

විරු දැයක් බිහිකරන්නට
අරා දෙරණම
නැගූ ඒ හඬ
යළි ඇසේ කවදාක

අහෝ! විස්සෝපෙන්
අප තවම යදිනවා
දෑත පා...

[පැරණි ලිපියක් - http://srishanu.blogspot.com/2007/09/blog-post.html]

Friday, September 03, 2010

මගෙ ආලෙ...




බඩගින්න හැරයන්න නැති උන්ට බත් කටක්
නොසෝදපු මූණු පොඩි ඇති උන්ට පොත් දෙකක්
අත්වාරු කරගන්න බැරි උන්ට කාසියක්
දීගන්න හිත වයන හැටි! අරුම ආලයක්!!


Tuesday, August 31, 2010

මගෙ ආලවන්තී...

ලේ තැවරුව කඩදහියක
ලියන්නෙ නෑ කුරුටු ගීත
කඩෙන් ගත්ත රෝස මලක
සුවඳ කෝම ඉවසන්නද

සත්කුළු පව් නැග එන්නට
සත්සමුදුරු බැස එන්නට
එහෙම ඕනෙ නොවුණු නුඹට
මගේ ආලකම දැනෙන්ට

ප්‍රශස්තියක් කියාගන්න
අවසරයක් නොදුන්නාට
හතර පෙලක් ඇටෙව්වාම
කියවාපන් වෙමින් කෝල!

Monday, July 19, 2010

රටා මැව්වට...


හිතේ නලියන
මගේ කතාව
ලියාගන්න
පායනකන් බලා ඉන්නද
තවත් තරුවක්

රටා මැව්වට
කතා හැදුනට
ඈත දිලෙන තරු රෑනෙ
නැගෙන ගින්දර
මට ඕනෙද?

ගෙදර ගින්දර
මොලවගන්නට
පාර දකින්න
එළිය කරන්න
බියකරු අඳුරු අහසේ
පායාපං
අලුත් තරුවක්

Saturday, March 06, 2010

රෑ පිපුණු කුමුදිනී...

කුමුදිනී
සිනාසී
මද පවන්සර විඳී
තාල නූ පත් වැනී
රඟන්නී...

බඹර ගී මවන්නී
බඹර සුව සොයන්නී
ඒවි හිරු සමගිනී
සිහිනයෙන් දොඩන්නී...

පාන්දර එළිය වී
සිනා කැන් සලිත වී
මුකුලිතව පතිත වී
සිහිනයේ මරු දුටී...

ගුමු ගුමුව නොඇසිනී
හිරු එළිය නොවැටිනී
හිරු නොදිටි කුමුදිනී...

Wednesday, February 10, 2010

නළඟන නුඹයි...

පිරිපුන් සිතක් කොයි අතකවත් නැත කුරිරු වූ අඳුරම පැතූ
පිරිපුන් ගතක් වෙද කොයි ලෙසත් අනෙකෙකුගෙ සතුටට පෙම් කෙරූ
කඳුළක් නොදත් සතුටේම මිරිඟුව හඹා මුසපත් වී ගැලූ
ලෝකයක් තුළ ආඩම්බරක් නුඹ මගේ සිත කණපිට බැලූ

ආලයක් නොදැනෙන ලෝකයක් තුළ නුඹෙ නුවන් එළියක් මුසූ
තාලයක් නොඇසෙන ලෝකයක් මත නු‍ඹෙ සිනා සිසිලක් ගැලූ
ප්‍රීතියක් එපමණ දුකක් මුසු කළ මා සිතේ සදහට තැබූ
ගීතයක් නෑසුන නළඟනක් නුඹ හදවතින් රිද්මය ඇසූ

විරු දුව නුඹයි ලෝ කවිය නොඇසුව දනන් හට අරුතක් ලියූ
සොයුරිය නුඹයි එක තාලයට පා සළඹ සොලවන හැටි කියූ
මුදු නල නුඹයි මා වෙත හැමූ රූ සිරි මවා මා හද පෙලූ
නළඟන නුඹයි සුසුමක් මුසූ කඳුළක් අරන් මා හද සැලූ



පසුගිය ජනවාරියේ 15 වැනිදා බිෂොප් විද්‍යාලයීය ශාලාවේ IIT Stage Craft ප්‍රසංගයේ වූ එක් අංගයක් මා සිත් තුළ තවමත් රැව් පිළිරැව් දෙයි. එය කම්පනයකි, චිත්තප්‍රීතියකි, සංවේගයකි, ආඩම්බරයකි, සුසුම්ලමින් මෙනෙහි කළ හැකි සංවේදී හැඟීමකි. ඒවූ කලී රත්මලාන විශේෂිත පාසලේ ශිෂ්‍යාවන් පිරිසක් විසින් අපූරුවටත් තාලයටත් ඔවුනට නෑසෙන ගීයේ ලාලිත්වයටත් ඉදිරිපත් කරන ලද නර්තන අංගයකි. ඒ රස විඳීමෙන්
මා සිත්තුළ ජනිතව ගැලූ නිමක් නැති සිතුවිලි හැකි ලෙසින් එක් කොට මේ නිමක් නැති කව ලියූයෙමි.

Friday, January 22, 2010

දේදුන්න කොච්චර කැතද...?

සුදු පාටට ගලාගෙන
ලෝකෙම අවදි කරන්න එන
ඉර එළිය

කඩා... බින්න කර
පාට පාට
විතරක් පෙන්නන
වැහි බිංදුව කොච්චර නපුරුද...?

දේදුන්න කොච්චර කැතද...?

Wednesday, January 13, 2010

[ Guest Post ] කවුළු දුර...

නමින් උපසමිත වූ මා මිතුරා විසින් ලියූ මේ පැදි පෙල මෙහි පළ කරන්නෙ කිසිදු සංස්කරණයකින් තොරවය. බ්ලොග් ලියන්නෙකු නොවන නමුදු ඔහුගේ සේයාරූ දස්කම් මෙතැනින් බලාගත හැක.

කවුළු දුරකි එපමණකි ඔබ මා අතර රැඳෙනා
දැනුනි පහසක් සිතට මුත් ගත සැලෙනා
නැත කිසිවක් වී වෙනස්, මද සිනහව, සියුමැලි වදන්
ඇසුනේ කණට නොව සිතටයි.
තව තවත් ළංවෙවී ඔබ වෙතට ගතින් නොව සිතින්

සිහිනයක් වූ අතීතය, හැබෑවක් කර ඇත අද ඔබ
බලාසිටියෙමි උපේක්ෂාවෙන්
කවුළු දුරකි එපමණක් ඔබ මා අතර

ඉඩ නොදෙයි මා නෙතු ඔබෙන් ගැලවෙන්නට එදා මෙන්
අදත්, මද සිනහව, සියුමැලි වදන්

ඔබ රන් මුදුව, මොහොතකි අඳුරු කළේ මා දෙනුවන්
වසාගතිමි මා නෙතු යුග නමුදු නොව මා සිත
දුකද සතුටද මා සිත දවන නොදනී නමුත්

සංසාර දුරකි ඔබ මා අතර දුර
සිටියද කවුළුවෙන් එතෙර ඔබ



09/01/2010
අවන්හලකදී

Wednesday, December 02, 2009

පංති පේළිය


මහ ඝෝෂාව
උඩ පංතියෙ උන්
සිරික්කියෙ දෝංකාරය
පංති පේළියම දෙවනත් කරගෙන...
බාල් නැටුමකට
සැරසෙන හැටි
හොඳම පංතියලු!

මහා ඝෝෂාව
යට පංතියෙ උන්
ගෝරණාඩුව ගිගුම් දෙයි
පංති පේළියම දෙවනත් කරගෙන...
කන්කෙඳිරියකුත්
ඒ අස්සෙන්
එපා කරපු පංතියලු!

හූල්ලමින් සුසුම්ලමින්
මං
අතරමැද අතරමංව...

Sunday, November 08, 2009

නිශාචර පාපොච්චාරණය

යකාගෙ හෝරාව
යක් හඬක් නගද්දී
වීදි සරමින් ඇදෙන
කාකයන් බලද්දී

නොදැනීම මගෙ තරම
අනුව අන් සියල්ලන්
අඳුරු කුටි එකින් එක
රිංගමින් රස බැලිමි

පර බසක් ගිගුම් දෙන
ගැටෙන වීදුරු නදට
එක්ව පානා සිනහ
එක්ව පෑවෙමි මමත්

දුම් පිරුණු ගුහාවක
රත වැටුණු වතක් දැක
කොයි ලෙසද ඒ රසත්
ඉල්ලමින් පාවුනෙමි

හද හඬන හඬ නොදැන
ගිගුම් දෙන පොඩි ඉඩක
නොදන්නා තාලයට
සඳක් හා වැනුනි තව

යකාගේ හෝරාවෙ
අවසාන කනිසමට
රත් දෙනෙත් දුන් සිනා
සිත් නොදෙයි නික්මෙන්න

සියොත් සර නගද්දී
කැදලි හැර ඇදෙද්දී
මා ඇදුනි කූඩුවට
හෙටක් ගැන සිත් නැතිව

Monday, September 14, 2009

පැමිණ යන නුඹ...

විමසන්නෙ නුඹයි
මගහැරියෙත් නුඹයි
වද දෙන්නෙ නුඹයි
විඳවන්නෙත් නුඹයි
මුමුණන්නෙ නුඹයි
ඉකිබින්‍ඳෙත් නුඹයි

ඉරබටු තරුව නුඹයි
සැන්දෑ අහසත් නුඹයි
දිය දහර නුඹයි
මහ කඳුයායත් නුඹයි
සුපිපුනු මල නුඹයි
මුළු මල් යායත් නුඹයි

පැමිණියේ...
යළි ගියෙත්

ගැටළුවත් නුඹමයි
විසඳුමක් නැති
නුඹගාවවත්...

නිසොල්මනේ
මගෙ හිත
බලා ඉන්නද
මෙතනම...
මෙහෙම...?

Monday, September 07, 2009

මල්...

ඇදේ මල්
රොන් පුදන්නට
නොදුටු නොඇසූ
බඹර තුඩකට

පිපුණත් පෙරසේ
සුවඳ සළමින්
හමන සුළඟට
බෙදා සිනහව

සුළඟට යා වී
එන බඹර කැල
රොනට එන බව
කවුරු කීවෙද

ගුමු ගුමු ගුමු ගුමු
ළංවනු ඇසුනිද
ළංවනු වැරදිද
කවුරු කීවෙද

බඹර තුඩකට
රොන පිදූවට
මිලිනවෙන බව
කවුරු කීවෙද

හැමූ සුළ‍ඟේ
තරම නොදැනම
වැටුනු මල් ගැන
කවුරු ඇසුවෙද

Monday, May 25, 2009

තරු කළ හදිය...

පලාතම කිරියෙන් නාවමින්
අගේට පුන් සඳ පායා උන්නු
රෑ අහසෙ...

තරු දහසක් පායා
දීප්තියෙන්
රශ්මිය නංවා
දාහයද පතුරුවා
දවාලීය මුළු පසම...
ලොවක් බලා සිටියදී
හිරු සඳුත් සමඟ...