Sunday, August 09, 2020

මගේ කව

වසන්තයේ එක දවසක සිට
නිදිවරා මුළු සෘතුවම
වැරදි වැරදී පිටු ගාණක
කුරුටු ගෑවුණු
මගේ කව

ග්‍රීෂ්මයත් මුදුන් වී
තවමත් පෑන ඇදි ඇදී
පැටලි පැටලී දැන්
තවත් ලියවෙන
ඒ කව

පමාවෙන් රස නොරස වී
විඩාවෙන් සිත බර වී
නොලියූ කලෙක මෙන්
අරමුණත් නැතිවූ
උඹට ලියූ කව

යැවුවා තැපෑලෙන්
ඉරිදා පත්තරේට

Monday, November 25, 2013

උදව්ව!

රෑ ජාමෙ වෙනකං වැඩ කරන එක පුරුද්දකට ගිහින්ද මන්දා. එදා රෑ කන්තෝරුවෙන් එළියට බහිද්දි 12ත් ඩිංගක් පහුවෙලා. කෝල් කරල ගෙන්නගත්තු කැබ් එකත් මං එනකං පොඩි නින්දක් දාගෙන.

මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව.


“කොහාටද යන්නෙ?“ අර දැක්ක වගේ මතක ඡායව අහපි!

මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල සීයලගෙ කාලෙ වගේ නං මේ දෙබසෙ මගෙ කොටහ මේ වගේ වෙන්න තිබුණා.

“මුන්නැහේ කොහෙද මේ රෑ ජාමෙ. කොයි පැත්තටද යන්නෙ ඕනෙ. හා ගොඩවෙමුකො“

(ඔව් ඉතිං ඒකාලෙ වෑන් නෑ තමා. ලොරිබාගයක් හරි ගොං කරත්තයක් හරි හිතාගමුකො.)

ඒත් අද කාලෙ මේ වගේ ප්‍රශ්නයක්... මේ රෑ ජාමෙ... මර මංගල්ලයකට කොටුවෙන්න තමා මේ යන්නෙ... මාව මංකොල්ලකන්නද? මගෙ ගාව ඒ හැටි සල්ලියකුත් නෑ. කැබ් එකට දෙන්න ගානටම වගේ තියෙන්නෙ. ඒත් ඉතිං මූ ඒක දන්නෙ නෑ නෙ.

අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනකං ඒ මිනිහ එතන එබිල ඉන්නව. බොරුවක් කියල ඉක්මනටම මාරුවෙලා යන එක තමා හොඳම වැඩේ. මගෙ නිදිමත බේරෙන මොළේ කිව්වෙ ඒක. ඒත් මූ යන්නෙ කොහෙටද කියල නොදන්න මං කොහෙ යනව කියල කියන්නද?

“කැළණියෙ!“

මදැයි කොලා! සහසුද්දෙම්ම ඇත්තම කිව්වා. ඒත් දැං මං බලන් ඉන්නෙ ඒ උත්තරෙන් අර මිනිහගෙ බලාපොරොත්තු හොස්ගාල කඩාවැටිල මට නිදහසේ ගෙදරයන්න පුළුවන්වෙයි කියල.

“කොස්වත්ත පැත්තෙන්ද යන්නෙ?“

මලා...! තාම ඉවර නෑ. හැබැයි මට උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහුවෙ. මට ගෙදර යන්න විදි තුනක්ම කියනව. කොස්වත්ත එක විදිහක් විතරයි.

“රාජගිරියෙන් යන්නෙ“ මං කියාපි.

මොහොතකට ඒ උත්තරේ කියපු එකගැන ආඩම්බර උනේ දැං මට මෙතනිං මාරුවෙලා යන්න පුළුවන් කියල හිතාගෙන. ඒත්... බේස්ලයින් එකෙන් යනව කිව්වනං කිසි ප්‍රශ්නයක් නෑ. කට ඉස්සර උනානෙ කියල ආයෙත් ඒ ආඩම්බරේ මකබෑවිලා ගියා.

“මගෙ සල්ලි නැතිවෙලා. කොහෙ හරි වැටිලා. මං මේ මහරගම ඉඳං පයින් එන ගමන්...“

මට එකපාරටම මතක්වුනේ බස්වලට නගින හිඟන මිනිස්සු කියන කතා. මේ වගේ කතා කොයි තරං අහල තියනවද. උන් කියන්නෙම බොරු කියල ඕනෙ පුතයෙක් දන්නව වුණාට එක බස් එකකින් කීයක් ලැබෙනවද! ඒ හොයන සල්ලි උන්ට ලැබෙනවනං ඒත් එකක්. ඕව යන්නෙ උන්ගෙ මහ මුදලාලිලටනෙ. ඒ කොහොම උනත් මට හිතුනොත් පිනටනෙ කියල මාත් දීල දානව. මං කැමති සිංදුවක් හෙම කිව්වොත් ඉතිං කීයක් හරි දෙනවම තමා.

“දිගටම ඇවිදල කොන්දත් හොඳටම රිදෙනව මල්ලි. මාව ඇතුල් කෝට්ටෙන් දාන්න පුළුවන්ද? මං අයිඩෙන්ටියත් දෙන්නං“

ඔන්න මිනිහ නිශ්චිත ප්‍රශ්නයක් ඇහුව. දැං බෝලෙ මගෙ පැත්තෙ. මං ටිකක් වෙලාව ගත්ත උත්තර දෙන්න.

“දන්නවනෙ ඉතිං අද කාලෙ...“

වෙලා අරං කල්පනා කලාට හේතු කාරණාවකුත් මං කිව්ව.

අවුරුදු පනහක විතර වයසක් පෙනුන මේ පුද්ගලයගෙ මූණෙ හොර පාටක් පෙනුනෙ නෑ. පයින්ම ආවයි කියල ඔප්පුවෙන තරමට මනුස්සයගාව හොඳටම දාඩිය ගඳයි. කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබෙන එකත් කොයිතරම් දෙයක්ද. මේ මිනිහ කියන්නෙ ඇත්තනං මෙතන දාල යන එකත් මහ පව් වැඩක්. මට වුණත් මේ වගේ අමාරු අසරණ වෙලාවක් එන්න පුළුවන්. ඒත් මේ හොරෙක් නං...

ඇත්ත නැත්ත හරියට දැනගන්න ෂර්ලොක් හොම්ස් මූඩ් එකට එන්න ඕනෙ කියල හිතුනට හරියන්නෙම නෑ වගේ. බයත් අනුකම්පාවත් අතර මං අසරණ වෙලා. ඒත් මේ කාලෙ ඇහෙන එක එක කතා නිසා බය ඉස්සර වෙනව.

ඊළඟ මොහොතෙ මම බැලුවෙ ඩ්‍රයිවර් අයිය දිහා. මිනිහත් සයිඩ් කණ්නාඩියෙන් බලාගෙන ඉන්නව.

“අයියෙ මොකද කියන්නෙ?“

මට එහෙම කියවුණා. මගේ අසරණකම මටම තේරුණා.

“මහත්තය කැමත්තක් කරන්න“

ඒ ඩ්‍රයිවර්ගෙ උත්තරේ. ඒක අහගත්ත මමයි ගොනා! දැං ඉතිං හිතහදාගන්න වෙනව. ඒත් දන්න සෙල්ලං දාල තව වාක්‍ය දෙකක් විතර ගැටගහගත්ත.

“කොහෙදිද සල්ලි නැතිවුණේ?“

“මේ... පර්ස් එක තියනව. සාක්කුවෙ තමා සල්ලි දාන්නෙ. කොහෙදි හරි වැටිල වෙන්නෝනෙ. අටසියගානක් තිබුණා.“

“කොහෙද වැඩකරන්නෙ? කොහෙද ඉන්නෙ?“

“මං කොස්වත්තෙ ඉන්නෙ. අතේ කීයක්වත් නෑ. පයින්ම තමා යන්න වෙන්නෙ. මල්ලි මම මේ අටේ විතර ඉඳන් මේ එන්නෙ...“

එකපාරටම අනුකම්පාව ඉස්සර වුණා. ප්‍රශ්න ඇහිල්ල පැත්තක තියල මං තීරණයක් ගත්ත.

“හා නගින්නකො“

මිනිහත් නැගල දොර පැත්තට වෙන්න වාඩි වුණා.

දැං යනගමන්. මගෙ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙනව. මේ මිනිහා මගේ එහාපැත්තෙ. දැං ඉතිං මොනව වුණත් පරක්කු වැඩියි. සල්ලි ඉල්ලුවොත් නං තියන ගානක් දීල දානව. වෙන දෙන්න තියෙන්නෙ ෆෝන් එක විතරයි. පිහියක් හරි ඇදල ගත්තොත් කියල සූදානං සරීසෙං ඉන්න එකත් හොඳයි. මූ වාහන මංකොල්ලකාරයෙක්ද? යනවාහන වලට බලෙන් නැගල වාහන උස්සන සිද්දි කොච්චරනං උනාද.

මං කෝකටත් කියල දිගටම මිනිහගෙ පැත්තට රබර් ඇහැ දාගෙන ගියේ. විශේෂයෙන්ම අත්දෙක දිහා. මිනිහනං ජනේලෙන් එලිය බලාගත්තු ගමන්.

“අයිය කොහෙද වැඩකරනව කිව්වෙ?“

“මං ජපුර කැම්පස් එක ගාව කොමිනිකේෂන් එකක වැඩ කරන්නෙ. ඒ ඉඳල එද්දි තමා දැනගත්තෙ සල්ලි වැටිල කියල.“

“ආ එහෙමද. කොස්වත්තෙ කොහෙද ගෙවල්?“

“පොලිසිය ගාවම...“

යන දිගටම කතාවට අල්ලගන්න එක මගේ කට්ටකමක් කියල හිතුනු නිසා මං එහෙම කලා.

නුගේගොඩ ඉඳන් ඇතුල් කෝට්ටෙ හන්දියට ඒහැටි දුරක් නෑ නෙ. දැං ඉතිං මිනිහගෙ ගමනාන්තය ළඟාවෙනව. මොනව හරි කරනවනං මූ දැං කරන්න ඕනෙ. නැත්තං හන්දියෙන් නවත්තල බස්සන්න බැරියැ. 

“ඕගොල්ලො කෙලින්මනෙ යන්නෙ. ඔය ඉස්සරහින් මාව දාන්න...“

මිනිහම ඩ්‍රයිවර් අයියට කිව්ව. මටත් කීප සැරයක්ම ස්තූති කරල ඔන්න දොරත් ඇරිය.

ඒ මොහොතෙ තමා මගේ මොළගෙඩිය මිනිහා හොරෙක් නොවන බවට ස්ථිර කරල අත ඉස්සුවෙ.

“අයියෙ, දිගටම යමු. කොස්වත්තෙන්ම දාගෙන යන්නං“

මිනිහගෙ මූණෙ මලක් පිපුණා වගේ හිනාවක් ආව. ඉතිරි ගමන යනගමන් සැක සංකා බොරු රඟපෑම් නැති කතාබහක් ඇතිවුණා. හැමදාම අපේ කන්තෝරුව ළඟින් යන එන නිසා ආයෙ දැක්කොත් කතා කරල යන්න එන්නම් කියල ඒ මනුස්සය මට පොරොන්දු වෙලා කොස්වත්තෙ පොලිසියගාව පාරකින් බැහැල ගියා.

ඇත්තටම අසරණ වුණු කෙනෙකුට උදව් කරන්න ලැබීම ගැන ඉහවහාගිය සතුටකිනුත් එහෙම මිනිහෙකු ගැන බිය සැක ඇති කරගන්නවුණු තරම ගැන කළකිරීමකුත් හිත ඇතුලෙ දෝලනය වෙන්න ගත්ත.

“අද කාලෙ මනුස්සයෙකුට උදව් කරන්න බයවෙන්න ඕනෙ තරමක්...!“

මම ඩ්‍රයිවර් අයියට කිව්වා.


------------------------------- ෴ -------------------------------

පසු සටහන: මේ සටහන යමෙකුට කියවා රසවිඳිය හැක්කක් හෝ සමාජය ගැන යමක් ගැඹුරින් සිතීමට උත්තේජනයක් හෝ නොවිය හැකියැයි සිතේ. සිතට ගලා ආ වචන සියල්ල ලියා දැමීම පමණක් සිදු කළෙමි.

පෙර ලියූ මෙවැනි වූ ලිපි දෙකක්:
1. මා දුටු දර්‍ශනයක් (I කොටස)
2. මා දුටු දර්‍ශනයක් ( II කොටස)



Tuesday, July 16, 2013

බලාපොරොත්තුව

කඳුළක දියවී
රූටා පතිතවී
වියළුණු මහ පොළවට
උරා සැඟව ගිය
බලාපොරොත්තුව

මේ මහ පොළවේම
කොහේ හෝ
රැඳී ඇති බවම පමණක්
දනිමි!

Monday, June 11, 2012

(ඉතාම) කෙටි දෙබසක්.

"මචං මේක අහල තියනවද? මරු සිංදුව නේ?"

"කෝ බලමු"

"නිකං මාර විදිහට වදිනව නේ?"

"හ්ම් අහල බලමු
"

"මූ අළුත් පොරක්. හැබැයි මාර ඩයල් එක. සමාජෙට තමා ගහන්නෙ."

"හ්ම්..."

"මුගේ මේ සිංදුවත් සිරා. ඉන්ඩකො තාම ලෝඩ් වෙනව"

"බලමු"

"එහෙම තමා සිරා. සමාජෙ වැරදි තමා කියන්න ඕනෙ. නැද්ද!"

"හ්ම්..."

"මේක සිරාවට වදිනව නේ. නිකං කාල් මාක්ස් වගේ තමා සමාජෙට දෙන්නෙ"

"හිහ්!"

"ඇයි?"

"නෑ... උඹ කාල් මාක්ස් ගැනත් දන්නවද?"

"ඇයි ඉතිං එහෙම අහන්නෙ..... කාල් මාක්ස් කියන්නේ.......... විප්ලවයක් කරන්න හදපු කෙනෙක් නෙ?"

"හිහ්!"

"ඇයි?"

Monday, June 04, 2012

නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්!

රාජිත දිසානායක නාට්‍ය උළෙල
සහ
අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා

වේදිකා නාට්‍යයක් බලනව කියන එකත් ලේසි නෑ අද කාලෙ. නාට්‍යයකට වෙලාවක් වෙන් කරගන්න එක සෑහෙන්න අභියෝගයක් වෙන්නෙ චිත්‍රපටි වගේ එක තැනක මාසයක් හමාරක් නාට්‍ය පෙන්වන්නෙ නැති නිසා. යන්න පහසු රඟහලකට, බලන්න කැමති නාට්‍යක් එන්නෙ කාලෙකට වතාවක්. ඒ එන එකම වතාවට මේ කාර්යබහුල ජීවන රටාව අස්සෙන් පොඩි චාන්ස් එකක් හොයාගන්න පුළුවන් කියන්නෙ ඉතිං පූරුවෙ ලාවට හරි කරපු පිනක් පල දෙනව කියන එක.

“ඔච්චරම ඕනකමක් තියනවනං ඕකට වෙලාවක් වෙන් කරගන්න ඒක ඒ හැටි දෙයක්ද? අනික කොළඹට කිට්ටුව ඉන්න අපිට නාට්‍ය බලන්න කොයි තරං අවස්ථා තියනවද?“ එහෙම මටම හිතුනට වැඩේ ඒ විදිහට වෙන්නෙම නෑ. ‘රැකියාව සහ තවත් කතා‘ නිසා.

කොහොමිං කොහොම හරි මේ විදිහට බලන්න කැමති නමුත් බලාගන්න පින පහල නොවෙච්ච නාට්‍ය කොච්චර තියනවද. කාලයාගේ ඇවෑමෙන් ඒව වේදිකා වලින් සමුඅරන් යනව. ආයෙ ඉතිං ඒ නාට්‍ය බලන්න කවදාවත්ම බෑ.

ඒත් මේ කියන්න යන්නෙ ඒ වගේ වේදිකාවෙන් බැහැල ගිය නාට්‍ය රැසක්ම මේ ජූනි මාසෙ ආයෙත් වේදිකාවට ගොඩ වෙනව කියල එහෙන් මෙහෙන් ලැබිච්චි පොඩි ආරංචියක් දෙකක් ගැන. මේ පළවෙනි ඔත්තුව ලැබුනෙ දිවයින පත්තරෙන්...

රාජිත දිසානායක නාට්‍ය උළෙල

රජිත දිසානායක ගේ නාට්‍ය නම් සෑම වර්ෂයකම පාහේ උළෙලක් වශයෙන් එක දිගට ලයනල් වෙන්ඩ්ට් එකේ වේදිකාගත වෙනව. 2009 දි නම් මාත් බලන්න ගියා. ඒත් මෙවර උළෙලට නිමිත්ත වෙලා තියෙන්නෙ රාජිත ගෙ ‘වීරය මැරිලා‘ නාට්‍යයේ දශ වර්ෂ පූර්ණය. 2002 වර්ෂයේ ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වුනේ ‘වීරය මැරිලා‘ නාට්‍යයි.

නාට්‍ය පෙළගැස්ම:

ජූනි 7 - වීරයා මැරිලා
ජූනි 8 - සිහින හොරු අරං
ජූනි 9 - බකමූණා වීදි බසී

ස්ථානය: කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල
වෙලාව: සවස 6.30

මේ කියපු නාට්‍ය වලටත් වඩා, දැන් වේදිකාවේ කොහෙත්ම දකින්න නොලැබෙන නාට්‍ය කීපයක් රැගත් උළෙලක් ගැනයි මීළඟ ඔත්තුව. පහුගියදාක ටවර් එකේ ‘සුද්දෙක් ඔබ අමතයි‘ බලන්න ගිය වෙලාවක ලැබුණු අත්පත්‍රිකාවක තමයි මේ ගැන තිබුනෙ.

අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා

සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී යුවලගේ රංගන දිවියට වසර තිහක් සපිරීම නිමිත්තෙන්
තමයි ‘අභිනයන‘ පැවැත්වෙන්නේ.
නාට්‍ය පෙළගැස්ම:

ජූනි 18 - සුභ සැන්දෑවක් (ඩග්ලස් සිරිවර්ධන)
ජූනි 19 - ජගන්මාතා (කේ. බී. හේරත්)
ජූනි 20 - තලමල පිපිලා (ජයලත් මනෝරත්න)
ජූනි 21 - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ජූනි 22 - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
ජූනි 23 - පුත්‍ර සමාගම (ජයලත් මනෝරත්න)
ජූනි 24 - අන්තර්ජාලේ (බන්දුල විතානගේ)

ස්ථානය: කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල
වෙලාව: සවස 6.45

බලංගිහාම අපි පින නැත්තෙමත් නෑ වගේ? මෙයින් දෙක තුනකටවත් යන්න ලැබේවා කියල ඔන්න එහෙනං ආරංචි ලිවීම ඉවරයි.

Friday, May 25, 2012

ගංකරේ ගිය මුණුබුරා


ඈත දීපංකරේ නෑදෑ ගෙදරක
වරෙං පුතේ යන්ඩ
උන්ට නොකිය කොහොමද
පුංචි අම්මගෙ කසාදෙ!
මාවත් එක්කරං අත්තම්ම
නැගගෙන බස් එකකට
ගියා මගුලට බුලත් දෙන්නට


එකින් එකට මාරුවෙවී
දොර දෙකේ බස්
තනි දොරේ බස්
අන්තිමට දොර පළුවකුත් නැති
වහලෙ උස වෑන් කබලක
ගිහින් බැස්සා වෙලක් අද්දර


වෙල දිගේ ගුරු පාරෙ
අත්තම්මගෙ පොඩිකාලෙ
මතක දිග ඇරගෙන දුවයි
අතින් ඇදගෙන මාව
ගල් දෙබුක්කාවක නාන ළිඳ 
ලඳු කැලෑ - රබර් වතු
පහුකරං එක හුස්මට


අන්තිමේ
පාරකට දෙකකට වඩා නොදැකපු
නෑගෙදර නෑදෑයො
ආගිය මග කතා
තේ බිස්කට් සංග්‍රහ
මගුල් ආරාධනා!


වැටී රෑ කළුවරත්
ලාම්පු එළියෙන් සෙමෙන්
අපට ලැබුණු ඉස්තෝප්පු කාමරේ
ඇඳට ගොඩවෙලා
නුහුරකුත් ගැස්මකුත්
හිරි ගැහුන නිසා හිත ඇතුලෙ


මිමිනුවෙමි අත්තම්මගෙ කනට
"අත්තම්මෙ, මෙහෙ ලයිට් නැද්ද?
අපි හෙට උදෙම්ම ගෙදර යං?"

Tuesday, January 24, 2012

කියුබානු සිනමා දැක්ම

ජනවාරි 01 දාට යෙදී තිබුණු කියුබානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කියුබා ජාතික සහයෝගීතා කමිටුව මගින් සංවිධානය කරනු ලබන ‘කියුබානු සිනමා දැක්ම‘ මේ මස 23 - 24 - 25 දිනයන් වල පැවැත්වේ.

ස්ථානය: සුදර්ශී ශාලාව
වෙලාව: සෑම දිනකම සවස 5.30 ට


ජනවාරි 23
The Eye of the Canary
by Fernando Pérez


ජනවාරි 24
Casa Vieja (Old House)
by Léster Hamlet


ජනවාරි 25
Red Hot City
by Rebecca Chávez

ලිපිය ලියන වෙලාව වෙද්දි පළවෙනි චිත්‍රපටය හමාර වෙලා. ප්‍රමාදය ගැන කමන්න!

Tuesday, November 08, 2011

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී...

තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදී
ලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටී
රුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටී
පිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටී

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී
නෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතී
ගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදී
පානා විරිය ඇත්නම් දිය කුදුයි සිතී

අඩියෙන් අඩිය ගලපාලා මගක් සොයා
පවුරෙන් පවුර රිද්දාලා සවිය සදා
දාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවා
රන් මල හොවා රන් සිවිගෙයි දියත දිනා



පසු වදන: බොහොම කාලෙකට පස්සෙ කවියක් ලිව්වෙ. ඇත්තටම කියනවනං මේ අවුරුද්දට පල කරන තුන්වෙනි ලිපිය. අවුරුද්ද ඉවර වෙන්නත් ඔන්න මෙන්න. කොහොම කොහොම හරි ඒ වැඩෙත් ඇදි ඇදී යතේ තමා.

මේ කවියත් එක පාරටම ලියවුනේ පොඩි හේතුවකුත් එක්ක. ළඟදි මුණගැහුණු මිතුරෙකුගෙ කවියක් දැකලා. ෆවුසාන් මලය පොඩිඑකා උනාට ලියපු කයිය බලන්න එපායැ. ඒත් එක්කම අද හවස හම්බුණු සිතූ නගා අහපි දැං බ්ලොග් ලියන්නෙ නෑ නේද කියල. නෑ තමා. මක්කරන්නද? ඒ අතරෙ ගෙදර ආව විතරයි, දැක්ක අපේ ලිෂාන් ගෙ ලස්සන කවි පොඩ්ඩක්. ඒකට කමෙන්ට් පාරකතු දැම්ම. මේ ඔක්කොම හින්දද මන්ද කොහොම කොහොම හරි මගෙ කවියෙ පේලි ටික ගැටගැහුණා. ඔක්කොමට බොහොම පිං! :D

Wednesday, August 03, 2011

ඊළඟට...

අහසෙ දිග ඇදි වළා
කහ ගහල එහෙ මෙහෙන්
ඉඟි පපා ගොම්මන
කඩුල්ල ළඟටම ඇවිත්

දැං පනී දැං පනී
සැලී හිත ගැහෙන හැටි
ආසනෑ ආයෙමත්
ආවොතිං ඉනි උඩිං

ඊළඟට පැල් කොටේ
වටකරං මුළු මිදුල
එන්න දත මදින්නේ
හද්දා කළුවරමනං...

Tuesday, May 17, 2011

බුදු පොතට...

ගිණි පිඹින මහ පොළවෙ
දෙපා අදිමින් ඔහේ
අඩවන්ව පියැවිගත්
දෑස් නොදකින ඉමේ
රක්ත වන් දුමාරයෙ
ගැලී මත්වී ලෙසේ
ඉබාගාතේ දිවෙන
සොඳුරු නූතන යුගේ

මිරිඟුවෙන් සැබෑ දිය
වෙන් කරන පාඩමේ

අ යනු ආ යනු යළිත්
රැව් දෙන්න බුදු පොතේ
බිඳෙන් බිඳ සිත් සතන්
සැනහෙන්න මේ ලෙසේ
සත් දනෝ පොදි බැඳන්
සැරසෙන්න මේ දිනේ

Friday, November 26, 2010

චීන චිත්‍රපට උළෙලක් කොළඹ දී

චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන චීන චිත්‍රපට උ‍ළෙලක් හෙට සිට දින හතරක් පුරා පැවැත්වේ. චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී නොමිලේ ප්‍රදර්ශනය කරන මෙහි චිත්‍රපට පෙළගැස්ම පහත දැක්වේ.


නොවැ 2‍7
     4.00pm Gimme Kudos
     6.00pm Crouching Tiger Hidden Dragon

නොවැ 2‍8
     4.00pm Li Mi Conjecture
     6.00pm Cell Phone

නොවැ 2‍9
     5.30pm The Volunteers

නොවැ 30
     5.30pm The Knot

Wednesday, October 20, 2010

පෙම් කෙලිය

කකියනව ඔලු ගෙඩිය
හිතලම උඹ ගැන
වෙන කිසිම දේකට
ඉස්පාසුවක් නෑ...

කැකෑරෙන ගොඩක් දේ
හිත ඇතුලෙ පොදි ගැහෙන
හම්බුවෙන ටික මොහොත
මදි හින්ද කියාගන්න
නින්දෙනුත් සාමීචියෙ
උඹ එක්ක...
හොඳ - නරක වාදෙ
හැමදාම වගේ...

ඒත් මොකද ඉතිං
පෙරේද බලපු හින්දියෙ වගේ
අන්තිමට හැමදේම
සතුටෙන්ම අහවර වේවි...!

Friday, September 17, 2010

ඔබේ දෑසින්...

අද දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල උතුමන්ගේ 146 වැනි ජන්මදිනය වෙනුවෙනි...

ඔබේ දෑසින්
අපේ හෙට දැක
යෙදූ දහිරිය
දැයේ සත වෙත

දෑත් දිගු කර
වැළඳ ගත්තද අප?

කට කොනින්
ඉඟි බිඟි සිනා පා
අවඥාවන් පොදි වලින්
දමා ගැසුවා පමණමැයි...

විරු දැයක් බිහිකරන්නට
අරා දෙරණම
නැගූ ඒ හඬ
යළි ඇසේ කවදාක

අහෝ! විස්සෝපෙන්
අප තවම යදිනවා
දෑත පා...

[පැරණි ලිපියක් - http://srishanu.blogspot.com/2007/09/blog-post.html]

Friday, September 03, 2010

මගෙ ආලෙ...




බඩගින්න හැරයන්න නැති උන්ට බත් කටක්
නොසෝදපු මූණු පොඩි ඇති උන්ට පොත් දෙකක්
අත්වාරු කරගන්න බැරි උන්ට කාසියක්
දීගන්න හිත වයන හැටි! අරුම ආලයක්!!


Tuesday, August 31, 2010

මගෙ ආලවන්තී...

ලේ තැවරුව කඩදහියක
ලියන්නෙ නෑ කුරුටු ගීත
කඩෙන් ගත්ත රෝස මලක
සුවඳ කෝම ඉවසන්නද

සත්කුළු පව් නැග එන්නට
සත්සමුදුරු බැස එන්නට
එහෙම ඕනෙ නොවුණු නුඹට
මගේ ආලකම දැනෙන්ට

ප්‍රශස්තියක් කියාගන්න
අවසරයක් නොදුන්නාට
හතර පෙලක් ඇටෙව්වාම
කියවාපන් වෙමින් කෝල!

Wednesday, August 04, 2010

රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්...!

ඔන්න නාට්‍ය ඔත්තුවක් බොහොම කාලෙකට පස්සෙ... මේ ගැන බොහෝ දෙනෙක් දැනටමත් දන්නව ඇති.

මේ වසරෙත් රාජිත දිසානායකගේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා ගිය වසර දෙකේදීම වගේ. ගිය අවුරුද්දෙ “නාට්‍යක්... නෑ හතරක්... බලමුද?“ කිව්වට බලන්න වුණේ එකයි. මං බලන්න ගිය එකම නාට්‍ය වෙච්ච ‘ආපහු හැරෙන්න බෑ‘ බලන්න අපේ දසුන් මලයත් ආව.

මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

අගෝ 5 - ආපහු හැරෙන්න බෑ
අගෝ 6 - සිහින හොරු අරං
අගෝ 7 - වීරයා මැරිලා

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


ඡායාරූපය: http://freedomtheater.wordpress.com වෙතින්

Monday, July 19, 2010

රටා මැව්වට...


හිතේ නලියන
මගේ කතාව
ලියාගන්න
පායනකන් බලා ඉන්නද
තවත් තරුවක්

රටා මැව්වට
කතා හැදුනට
ඈත දිලෙන තරු රෑනෙ
නැගෙන ගින්දර
මට ඕනෙද?

ගෙදර ගින්දර
මොලවගන්නට
පාර දකින්න
එළිය කරන්න
බියකරු අඳුරු අහසේ
පායාපං
අලුත් තරුවක්

Tuesday, April 13, 2010

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.

මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ.
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

Saturday, April 03, 2010

කුරොසාවා සිනමා උළෙල - AK100


අද්විතීය ජපන් සිනමාකරු අකිරා කුරොසාවා ගේ සිය වැනි ජන්ම දිනය නිමිතිකරගෙන කුරොසාවා සිනමා උළෙලක්
AK100 නමින් මෙම මස 5 සිට 7 දා දක්වා පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නෙ කොළඹ සිනමා කවය විසිනි.

චිත්‍රපට පෙළගැස්ම:

අප්‍රේල් 5
4:30 pm - Rashomon
7:00 pm - Late Autumn

අප්‍රේල් 6
4:30 pm - Equinox Flower
7:00 pm - Sanjuro

අප්‍රේල් 7
4:30 pm - The Makioka Sisters
7:00 pm - Ikiru

ස්ථානය: ජෝන් ද සිල්වා සමරු රඟහල
සියළුම දර්ශන නොමිලේ පැවැත්වේ.

මීට අමතරව මේ සියළු දිනයන්හි වාර දෙක බැගින් (පෙව 9.30 සහ පව 1.30) සිනමා වැඩමුළුද සංවිධානය කර ඇත.

Saturday, March 06, 2010

රෑ පිපුණු කුමුදිනී...

කුමුදිනී
සිනාසී
මද පවන්සර විඳී
තාල නූ පත් වැනී
රඟන්නී...

බඹර ගී මවන්නී
බඹර සුව සොයන්නී
ඒවි හිරු සමගිනී
සිහිනයෙන් දොඩන්නී...

පාන්දර එළිය වී
සිනා කැන් සලිත වී
මුකුලිතව පතිත වී
සිහිනයේ මරු දුටී...

ගුමු ගුමුව නොඇසිනී
හිරු එළිය නොවැටිනී
හිරු නොදිටි කුමුදිනී...