බොහොම කාලෙක ඉඳන් වේදිකා නට්‍යක් බලන්න ආසාවක් හිතේ පැලපදියම් වෙලා තිබුණා. අන්තිම වතාවට බලපු වේදිකා නාට්‍යය කොයි එකද කියල හරියටම මතක නෑ. එක්කෝ ජනක් ප්‍රේමලාල්ගේ 'රජගහේ නාඩගම' නැත්තං බන්දුල විතානගේගේ (මතක හැටියට) පරිවර්තන නිෂ්පාදනයක් වන 'සමාවෙන්න වැරදීමක්'. ඔය දෙකින් එකක් බැලුවෙ එල්ෆින්ස්ටන්. අනික ජෝන් ද සිල්වා රඟහලේදි. කිව්වට විශ්වාස කරන්න ඒ 2001දි නැත්තං 2002 දි. එදා ඉඳන් අවුරුදු 7ක් විතර යනකන් වේදිකා නාට්‍යක් බලල නෑ! මොන තරං කාලකන්නියෙක්ද හැබෑට!
මෑත බාගෙයේ අළුත් මෙන්ම පැරණි (සහ පැරණි නාට්‍ය වල නව නිපැයුම් ලෙසත්) වේදිකා නාට්‍ය බොහොමයක් දිගහැරෙමින් තියනවා. 'හුණු වටයේ කතාව, කපුටු බෝ, කැළණි පාලම, සාරංගා නැවෙන් ඇවිත්' විතරක් නෙමෙයි 'ජන කරළිය' ජංගම රඟහලේ නාට්‍ය රොත්තත් ඒ අතර මතකයට එනවා. පේන හැටියට නම් වේදිකා නාට්‍ය කලාවට හොඳ කල දවසක් ඇවිත් වගේ. මේව ගැන 'දිවයිනේ' යන දැන්වීම් බල බල හූල්ල හූල්ල ඉන්නවා. අද යනවා... හෙට යනවා... හීල්ලිල්ල විතරයි... රස්සා කෙරිල්ල එක්ක නාට්‍ය බැලිල්ල මාර අභියෝගයක්!
අභියෝගය භාර ගන්නවද...? භාරගන්නවා හත්වලාමේ, හැබැයි කවද කොරයිද කියන්ඩ බෑ ඕං...
මේ අතර මම බලන්නම ආසාවෙන් හිටිය මගේ ප්‍රියතම නාට්‍යකරුවා සහ රංගන ශිල්පියා වන ජයලත් මනෝරත්නයන්ගේ අළුත් නාට්‍ය දෙකක්ම ආවා. මහගමසේකරයන්ගෙ කවිපද රචනා ඇසුරෙන් සෑදූ ඒ ගීතමය නාට්‍යයේ නමනං මතක නෑ. අනික තමයි තවමත් වේදිකාගත වන 'සුදු රෙදි හොරු'. ඊට අමතරව රාජිත දිසානායකගේ මං කැමති නාට්‍ය ගොන්නක්ම මට මගහැරුණා. අනේ අපොයි! ෆිල්ම් එකක් නං පස්සෙ DVD හොයාගන්න පුළුවන්. ඒත් මේව...! :(
හැබැයි මේ කාල පරාසය අතරේ චිත්‍රපටි රොත්තක් නම් බැලුවා. (නෑ නෑ..., ගෙදර ඉඳං බාගෙන බලන ඒව මෙතෙන්ට ඔට්ටු නෑ.) ගරිල්ලා මාකටිං, අස්වැසුම, වෑකන්ද වළව්ව, සංකාරා, උඩුගංයාමය, Dark Knight (දෙපාරයි), Madagascar II, Ironman, Hulk, Spiderman III, Transformers (දෙපාරයි), King Kong (දෙපාරයි) වගේ චිත්‍රපට ප්‍රදර්ශන ශාලාවටම ගිහින් බැලුවෙ සැබෑ 'පික්චර් හෝල්' ආශ්වාදයක් ලබන්න තියන කැමැත්ත නිසයි.
මට මේ හෑල්ල ලියන්න මුල් වුණේ අද මේ වගේ තවත් දොළදුකක් සංසිඳුවා ගත්ත දවසක් නිසයි. මම කලින් ලිපියේ කියපු ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලේ ඊයෙ රාත්‍රී 7 දර්ශනයට යන්න තරම් පූරුවෙ පිනක් තිබුණා. චිත්‍රපටියෙ නම තමයි La Brunante. ඉංගිරිසියෙන් නම Twilight (නොහොත් Dusk). ඒ කියන්නෙ සන්ධ්‍යාව නැත්තං ගොම්මන. Fernand Dansereau විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙය ප්‍රංශ භාෂාවෙන් කෙරුණු කැනේඩියානු නිෂ්පාදනයක්. චිත්‍රපටය බලල ඇති වුණු සිතුවිලි ටිකක් බොහොම කෙටියෙන් ලියන්න හිතුනා.
මේ කතාවෙ වස්තු බීජය Alzheimer disease කියන රෝගයයි. මේ රෝගී තත්වයෙන් පෙලෙන වයසක කාන්තාවක් සහ ඇයට අහම්බෙන් මුණගැසෙන තරුණියක් වටා කතාව ගලා යනවා. අහම්බෙන් හමුවෙන ඒ දෙදෙනාගෙ කතා බහෙන් සහ යම් යම් ක්‍රියාකාරකම් මගින් ඒ දෙදෙනාම මුහුණ පා සිටින්නෙ සමාන ප්‍රශ්නාවලියකට බව ප්‍රේක්ෂකයාට හඟවනවා. නමුත් ඔවුන් දෙදෙනාගේ අතර නොදැනුවත්වම ඇතිවන බැඳීම ඒ ජීවිත වල අරමුණු වෙනස් කරනවා. අවසානයේ ඒක එහෙම්මමත් නෑ කියලත් හිතෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලයේ තීරණය වන්නෙත් මේ ඇතිවන බැඳීම නිසාමයි. (ඔයාලත් චිත්‍රපටි හොයාගෙන බලන්න, මේ වගේ උඩින් පල්ලෙන් කියල දැම්මෙ බලන කෙනෙකුට කතාව කලින්ම දැනගත්තහම ඒකෙ ආශ්වාදයක් නැතිවෙයි කියලයි)
අධ්‍යක්ෂනය, රංගනය ආදිය උපරිමයි කියන්න බැරි වුණත් සෑහෙන ඉහල මට්ටමක තිබුණා. නමුත් කැමරාකරණය සහ සංස්කරණයේ යම් දුර්වලතා දැනුනා. කතාවේ ගලා යෑම (තිර රචනය) අතිශයින්ම සාර්ථක ලෙස සැකසුම්ගත කර තිබුනා.
කොහොම වුණත් අන්තිමේදි, ලෙඩක් වස්තු බීජය කොට ගෙතුනු කතාවක් වුණත් ඉන් අපට අපේ ජීවිත ගැනම අළුත් මුහුණුවරකින් හිතන්න යමක් ඉතිරි කරනවා. අපි ගැන විතරක් නෙමෙයි අප වටා ඉන්න අපේ පවුලේ උදවිය, මිතුරු මිතුරියන්, එදිනෙදා සමාජයේදි හමුවන විවිධ පුද්ගලයන් ගැන වුවද වෙනස් විදිහකට හිතන්න අපව පොළඹනවා.
මේ වෙනුවෙන් මගේ IMDB rating එක 7යි. :)
බලමු බලමු......
ReplyDeleteවේදිකා නාට්‍ය :(( :(( :((
ReplyDeleteවිස්තර දුන්නාට ස්තුතියි, හොයං බලන්න ඕනෑ...!
ReplyDeleteමමත් වේදිකා නාට්යක් නම් බලපු කාලයක් නෑ.අන්තිමට ම බෑලුවේ මට මතක හෑටියට අන්දරේලා..
ReplyDelete