Monday, November 25, 2013

උදව්ව!

රෑ ජාමෙ වෙනකං වැඩ කරන එක පුරුද්දකට ගිහින්ද මන්දා. එදා රෑ කන්තෝරුවෙන් එළියට බහිද්දි 12ත් ඩිංගක් පහුවෙලා. කෝල් කරල ගෙන්නගත්තු කැබ් එකත් මං එනකං පොඩි නින්දක් දාගෙන.

මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව.


“කොහාටද යන්නෙ?“ අර දැක්ක වගේ මතක ඡායව අහපි!

මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල සීයලගෙ කාලෙ වගේ නං මේ දෙබසෙ මගෙ කොටහ මේ වගේ වෙන්න තිබුණා.

“මුන්නැහේ කොහෙද මේ රෑ ජාමෙ. කොයි පැත්තටද යන්නෙ ඕනෙ. හා ගොඩවෙමුකො“

(ඔව් ඉතිං ඒකාලෙ වෑන් නෑ තමා. ලොරිබාගයක් හරි ගොං කරත්තයක් හරි හිතාගමුකො.)

ඒත් අද කාලෙ මේ වගේ ප්‍රශ්නයක්... මේ රෑ ජාමෙ... මර මංගල්ලයකට කොටුවෙන්න තමා මේ යන්නෙ... මාව මංකොල්ලකන්නද? මගෙ ගාව ඒ හැටි සල්ලියකුත් නෑ. කැබ් එකට දෙන්න ගානටම වගේ තියෙන්නෙ. ඒත් ඉතිං මූ ඒක දන්නෙ නෑ නෙ.

අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනකං ඒ මිනිහ එතන එබිල ඉන්නව. බොරුවක් කියල ඉක්මනටම මාරුවෙලා යන එක තමා හොඳම වැඩේ. මගෙ නිදිමත බේරෙන මොළේ කිව්වෙ ඒක. ඒත් මූ යන්නෙ කොහෙටද කියල නොදන්න මං කොහෙ යනව කියල කියන්නද?

“කැළණියෙ!“

මදැයි කොලා! සහසුද්දෙම්ම ඇත්තම කිව්වා. ඒත් දැං මං බලන් ඉන්නෙ ඒ උත්තරෙන් අර මිනිහගෙ බලාපොරොත්තු හොස්ගාල කඩාවැටිල මට නිදහසේ ගෙදරයන්න පුළුවන්වෙයි කියල.

“කොස්වත්ත පැත්තෙන්ද යන්නෙ?“

මලා...! තාම ඉවර නෑ. හැබැයි මට උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහුවෙ. මට ගෙදර යන්න විදි තුනක්ම කියනව. කොස්වත්ත එක විදිහක් විතරයි.

“රාජගිරියෙන් යන්නෙ“ මං කියාපි.

මොහොතකට ඒ උත්තරේ කියපු එකගැන ආඩම්බර උනේ දැං මට මෙතනිං මාරුවෙලා යන්න පුළුවන් කියල හිතාගෙන. ඒත්... බේස්ලයින් එකෙන් යනව කිව්වනං කිසි ප්‍රශ්නයක් නෑ. කට ඉස්සර උනානෙ කියල ආයෙත් ඒ ආඩම්බරේ මකබෑවිලා ගියා.

“මගෙ සල්ලි නැතිවෙලා. කොහෙ හරි වැටිලා. මං මේ මහරගම ඉඳං පයින් එන ගමන්...“

මට එකපාරටම මතක්වුනේ බස්වලට නගින හිඟන මිනිස්සු කියන කතා. මේ වගේ කතා කොයි තරං අහල තියනවද. උන් කියන්නෙම බොරු කියල ඕනෙ පුතයෙක් දන්නව වුණාට එක බස් එකකින් කීයක් ලැබෙනවද! ඒ හොයන සල්ලි උන්ට ලැබෙනවනං ඒත් එකක්. ඕව යන්නෙ උන්ගෙ මහ මුදලාලිලටනෙ. ඒ කොහොම උනත් මට හිතුනොත් පිනටනෙ කියල මාත් දීල දානව. මං කැමති සිංදුවක් හෙම කිව්වොත් ඉතිං කීයක් හරි දෙනවම තමා.

“දිගටම ඇවිදල කොන්දත් හොඳටම රිදෙනව මල්ලි. මාව ඇතුල් කෝට්ටෙන් දාන්න පුළුවන්ද? මං අයිඩෙන්ටියත් දෙන්නං“

ඔන්න මිනිහ නිශ්චිත ප්‍රශ්නයක් ඇහුව. දැං බෝලෙ මගෙ පැත්තෙ. මං ටිකක් වෙලාව ගත්ත උත්තර දෙන්න.

“දන්නවනෙ ඉතිං අද කාලෙ...“

වෙලා අරං කල්පනා කලාට හේතු කාරණාවකුත් මං කිව්ව.

අවුරුදු පනහක විතර වයසක් පෙනුන මේ පුද්ගලයගෙ මූණෙ හොර පාටක් පෙනුනෙ නෑ. පයින්ම ආවයි කියල ඔප්පුවෙන තරමට මනුස්සයගාව හොඳටම දාඩිය ගඳයි. කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබෙන එකත් කොයිතරම් දෙයක්ද. මේ මිනිහ කියන්නෙ ඇත්තනං මෙතන දාල යන එකත් මහ පව් වැඩක්. මට වුණත් මේ වගේ අමාරු අසරණ වෙලාවක් එන්න පුළුවන්. ඒත් මේ හොරෙක් නං...

ඇත්ත නැත්ත හරියට දැනගන්න ෂර්ලොක් හොම්ස් මූඩ් එකට එන්න ඕනෙ කියල හිතුනට හරියන්නෙම නෑ වගේ. බයත් අනුකම්පාවත් අතර මං අසරණ වෙලා. ඒත් මේ කාලෙ ඇහෙන එක එක කතා නිසා බය ඉස්සර වෙනව.

ඊළඟ මොහොතෙ මම බැලුවෙ ඩ්‍රයිවර් අයිය දිහා. මිනිහත් සයිඩ් කණ්නාඩියෙන් බලාගෙන ඉන්නව.

“අයියෙ මොකද කියන්නෙ?“

මට එහෙම කියවුණා. මගේ අසරණකම මටම තේරුණා.

“මහත්තය කැමත්තක් කරන්න“

ඒ ඩ්‍රයිවර්ගෙ උත්තරේ. ඒක අහගත්ත මමයි ගොනා! දැං ඉතිං හිතහදාගන්න වෙනව. ඒත් දන්න සෙල්ලං දාල තව වාක්‍ය දෙකක් විතර ගැටගහගත්ත.

“කොහෙදිද සල්ලි නැතිවුණේ?“

“මේ... පර්ස් එක තියනව. සාක්කුවෙ තමා සල්ලි දාන්නෙ. කොහෙදි හරි වැටිල වෙන්නෝනෙ. අටසියගානක් තිබුණා.“

“කොහෙද වැඩකරන්නෙ? කොහෙද ඉන්නෙ?“

“මං කොස්වත්තෙ ඉන්නෙ. අතේ කීයක්වත් නෑ. පයින්ම තමා යන්න වෙන්නෙ. මල්ලි මම මේ අටේ විතර ඉඳන් මේ එන්නෙ...“

එකපාරටම අනුකම්පාව ඉස්සර වුණා. ප්‍රශ්න ඇහිල්ල පැත්තක තියල මං තීරණයක් ගත්ත.

“හා නගින්නකො“

මිනිහත් නැගල දොර පැත්තට වෙන්න වාඩි වුණා.

දැං යනගමන්. මගෙ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙනව. මේ මිනිහා මගේ එහාපැත්තෙ. දැං ඉතිං මොනව වුණත් පරක්කු වැඩියි. සල්ලි ඉල්ලුවොත් නං තියන ගානක් දීල දානව. වෙන දෙන්න තියෙන්නෙ ෆෝන් එක විතරයි. පිහියක් හරි ඇදල ගත්තොත් කියල සූදානං සරීසෙං ඉන්න එකත් හොඳයි. මූ වාහන මංකොල්ලකාරයෙක්ද? යනවාහන වලට බලෙන් නැගල වාහන උස්සන සිද්දි කොච්චරනං උනාද.

මං කෝකටත් කියල දිගටම මිනිහගෙ පැත්තට රබර් ඇහැ දාගෙන ගියේ. විශේෂයෙන්ම අත්දෙක දිහා. මිනිහනං ජනේලෙන් එලිය බලාගත්තු ගමන්.

“අයිය කොහෙද වැඩකරනව කිව්වෙ?“

“මං ජපුර කැම්පස් එක ගාව කොමිනිකේෂන් එකක වැඩ කරන්නෙ. ඒ ඉඳල එද්දි තමා දැනගත්තෙ සල්ලි වැටිල කියල.“

“ආ එහෙමද. කොස්වත්තෙ කොහෙද ගෙවල්?“

“පොලිසිය ගාවම...“

යන දිගටම කතාවට අල්ලගන්න එක මගේ කට්ටකමක් කියල හිතුනු නිසා මං එහෙම කලා.

නුගේගොඩ ඉඳන් ඇතුල් කෝට්ටෙ හන්දියට ඒහැටි දුරක් නෑ නෙ. දැං ඉතිං මිනිහගෙ ගමනාන්තය ළඟාවෙනව. මොනව හරි කරනවනං මූ දැං කරන්න ඕනෙ. නැත්තං හන්දියෙන් නවත්තල බස්සන්න බැරියැ. 

“ඕගොල්ලො කෙලින්මනෙ යන්නෙ. ඔය ඉස්සරහින් මාව දාන්න...“

මිනිහම ඩ්‍රයිවර් අයියට කිව්ව. මටත් කීප සැරයක්ම ස්තූති කරල ඔන්න දොරත් ඇරිය.

ඒ මොහොතෙ තමා මගේ මොළගෙඩිය මිනිහා හොරෙක් නොවන බවට ස්ථිර කරල අත ඉස්සුවෙ.

“අයියෙ, දිගටම යමු. කොස්වත්තෙන්ම දාගෙන යන්නං“

මිනිහගෙ මූණෙ මලක් පිපුණා වගේ හිනාවක් ආව. ඉතිරි ගමන යනගමන් සැක සංකා බොරු රඟපෑම් නැති කතාබහක් ඇතිවුණා. හැමදාම අපේ කන්තෝරුව ළඟින් යන එන නිසා ආයෙ දැක්කොත් කතා කරල යන්න එන්නම් කියල ඒ මනුස්සය මට පොරොන්දු වෙලා කොස්වත්තෙ පොලිසියගාව පාරකින් බැහැල ගියා.

ඇත්තටම අසරණ වුණු කෙනෙකුට උදව් කරන්න ලැබීම ගැන ඉහවහාගිය සතුටකිනුත් එහෙම මිනිහෙකු ගැන බිය සැක ඇති කරගන්නවුණු තරම ගැන කළකිරීමකුත් හිත ඇතුලෙ දෝලනය වෙන්න ගත්ත.

“අද කාලෙ මනුස්සයෙකුට උදව් කරන්න බයවෙන්න ඕනෙ තරමක්...!“

මම ඩ්‍රයිවර් අයියට කිව්වා.


------------------------------- ෴ -------------------------------

පසු සටහන: මේ සටහන යමෙකුට කියවා රසවිඳිය හැක්කක් හෝ සමාජය ගැන යමක් ගැඹුරින් සිතීමට උත්තේජනයක් හෝ නොවිය හැකියැයි සිතේ. සිතට ගලා ආ වචන සියල්ල ලියා දැමීම පමණක් සිදු කළෙමි.

පෙර ලියූ මෙවැනි වූ ලිපි දෙකක්:
1. මා දුටු දර්‍ශනයක් (I කොටස)
2. මා දුටු දර්‍ශනයක් ( II කොටස)



9 comments:

  1. you are right when we decide to help to the peoples in case of they are getting trouble this problem would come front .

    ReplyDelete
  2. මේ සම්බන්දව මට නම් තියෙන්නේ කටුක අත්දැකීම්. මේ ලඟ දවසකදි කෑම නෑ කියලා හවුස් ඔෆ් ෆැශන් එක ලඟදි කෙනෙක් කෑම ඉල්ලුවා. මම ඒ ලඟ හොටෙල් එකකට ගිහින් කෑම ඕඩර් කරලා හදලා දෙනකම්ම ඉඳලා ඒ කාන්තාවට දුන්නා. එතකොට එයා කියනවා මිස් මගේ මහත්තයාත් ඉන්නවා එයාට බෙහෙත් ගන්න සල්ලිත් ඕනේ කියලා. ඒ මනුස්සයාට ස්තුතියි කියන්නවත් මතක තිබුනේ නෑ. පස්සේ එතන හිටපු කෙනෙක් මට හිනා වෙලා කීවා සල්ලි මිසක් කෑම වලින් ඒ අයට වැඩක් නෑ ඒකයි අරහෙම ඉල්ලන්නෙ කියලා. කෑම ගන්න සල්ලි ඉල්ලුවට කෑම කවුරුත් අරන් දෙන්නේ නෑනේ. ඉතින් එයාට අවුල් ඒ සිදුවීම.
    අනිත් සිදුවීමත් ෆැබ් එක ළඟ. කෑම ගන්න සල්ලි ඉල්ලුවා මම කෑම අරන් දුන්නා. මම වාහනේ ස්ටාර්ට් කරන් යන්නත් කලියෙන් මගේ රියදුරා දැකලා අර කෑම එක විකුණනවා. ඒ වගේ වෙලාවට දැනෙන්නේ ලොකු කළකිරීමක්. ඒ මොනවා වුනත් දෙවියන් වහන්සේ ආවත් වාහනේට නග්ග ගන්න එක නම් භයානකයි. කීයටවත් ඒක නම් කරන්නෙ නෑ මම නම්.

    ReplyDelete
  3. කෑමට සල්ලි ඉල්ලුවාම මාත් කරන්නෙ කඩේකට එක්ක ගිහින් කෑමක් අරන් දෙනවා. දවසක් විලියම් හන්දිය පැත්තෙ යද්දි වයසක අන්කල් කෙනෙක් තවත් අමුතු කතාවක් කියල කෑම ටිකක් ගන්න සල්ලි ඉල්ලුවා. මං ආයෙ හැරිල මීටර් 500ක් විතර දුර බිලාල් එකට එක්ක ගිහින් ෆ්‍රයිඩ්රයිස් එකක්ම අරන් දීල ආව. :)

    මගෙ කතාවෙ පුද්ගලය නම් හැබැයින්ම අසරණ වුණු කෙනෙක් තමා. ඒත් අද කාලෙ හැටි නිසා අන්තිම වෙනකන් විශ්වාස කරන්න බැරිකමයි තියෙන්නෙ.

    ReplyDelete
  4. හොඳ මිනිස්සු සමාජයේ ඕන තරම් ඉන්නව. ඒත් ඒ මිනිස්සුන්ට, උදව් ලැබියයුතු මිනිස්සු හඳුනාගන්න බැරිවීම නං රියල්ම ඛේදවාචකයක් තමයි.

    [මාසෙකට එක පෝස්ටුවක් දැම්මොත් අවුරුද්දට 12ක් දාන්න පුළුවන් :-) ]

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම!

      [:D ඒකනං එහෙම තමා. ලියන්න ආසාව තිබුණටම මදි නෙව. බලමු. ;) ]

      Delete
  5. Replies
    1. ආයෙ මොකට කියනවද! :D

      Delete
  6. කෝ පෝස්ටු?
    සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!

      ලියවෙන්නෙම නෑ අප්පා... වසන්තෙටවත් මොකුත් ලියාගන්න බැරුව ගියා නෙව.

      Delete