Wednesday, November 26, 2008

වීර කැප්පෙටිපොළ සෙන්පතියාණන් සමරමු!

වීර මොණරවිල කැප්පෙටිපොළ සෙන්පතියාණන් රට දැය වෙනුවෙන් තම දිවි පූජාකොට අද දිනට වසර 190ක් වෙයි.

එවන් වූ විරුවන් මේ මොහොතේත් රට රකින්නට යුධ පෙරමුනේ සටන්වැද සිටින බව සිත්හි දරා, කැප්පෙටිපොළ විරුවාණන්ගේ ගුණ සමරමු! එවැනි විරුවන් දසදහස් ගණනක් අදත් මෙරට ජීවත්වන බව පසක් කරගනිමු!!

පසුගිය වසරවල සැමරුම් : 2007 / 2006

Tuesday, November 18, 2008

රණවිරු උපහාර පුදන මගේ Gtalk යාළුවෝ

ශ්‍රී ලංකා හමුදාව විසින් පුනරින් මුදාගැනීමෙන් අනතුරුව ගත වන මෙම සතිය රණවිරු වන්ට උපහාර පිදීමේ සතියක් බවට ප්‍රකාශ වුණා. ඒ වෙනුවෙන් ආයතන සහ නිවෙස් වල සිංහ ධජය ඔසවන මෙන්ද ඉල්ලීම් කෙරුණා. අන්තර්ජාල අවකාශයේද එවැනි දෑ සිදුවෙනවා. ඒ අතර තම Facebook ආදීයෙහි profile picture එක වෙනුවට සිංහ ධජය දැක්වීම සහ Gtalk වැනි chat client තුළින් තම මුහුණ වෙනුවට සිංහ ධජය පෙන්වීම ආදිය ප්‍රධාන තැනක් ගත්තා. මා ද Facebook, Google talk, Skype ආදියෙහි profile picture එක වෙනුවට සිංහ ධජය දැක්වූවා.

පහත රූපයේ තිබෙන්නේ, මගේ Gtalk හි මගේ මිතුරන් පිරිසකුත් සිංහ ධජය හෝ සිංහ ලකුණ දක්වමින් රණවිරුවන් වෙනුවෙන් තම උපහාරය දක්වා ඇති සැටියි.


"හදවතින් අප යුධ බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ..."

Thursday, November 13, 2008

Nalandasara 2008 (Radio)

Nalandasara 2008 (Radio) will be on air from 12th - 16th November...........

Listen online : http://www.nalanda.sch.lk/

Tuesday, November 11, 2008

දෙදාස් අටේ චිත්‍රපටි

මගේ බ්ලොග් එකේ මීට කලින් නොලියපු තාලෙ ලිපියක් මේ ලියන්න යන්නෙ. චිත්‍රපටි ගැන ‍පොඩි කතාවක්. මං බ්ලොග් එකේ චිත්‍රපටි ගැන පොඩි සමීක්ෂණයක් දැම්මා. ඒ සම්බන්ධයෙන් පෙරවදනක් තමයි මේ.

චිත්‍රපටි බලන එක බොහෝ දෙනෙක්ගෙ වගේම ම‍ගෙත් හොඳ විනෝදාංශයක්. කවුරු හරි ඇහුවොත් මොනව වගේ චිත්‍රපටි වලටද කැමතියි කියල, මට ඒකටනං දෙන්න උත්තරයක් නෑ. මොකද චිත්‍රපටි වර්ගය අනුව තෝරගෙන බලන කෙනෙක් නෙමයි මම. ඕනෙම වර්ගයක ඕනෙම භාෂාවක චිත්‍රපටි මං බලනව. හැබැයි බැලුවට පස්සෙනං ඒවයින් බොහොමයකට මෙතෙක් මගේන ලැබිල තියෙන්නෙ ඍණ ලකුණු. මං කැමති වෙන්නෙ හොඳ කතාවක්, අපූරු රංගනයක් වගේම, චිත්‍රපටියෙ නිෂ්පාදන අංශයෙනුත් (අධ්‍යක්ෂණය, කැමරා, සංගීතය, කලා අධ්‍යක්ෂණය, තාක්ෂණික භාවිතය ආදිය) ඉහළ මට්ටමක තියනවනං විතරයි. ඒ මට්ටම මේකයි කියල මට විස්තර කරන්න බැහැ. ඒක මට හැ‍ඟෙන විදිහ තමයි.

බොහෝ දෙනෙකුට වගේ මටත් වැඩිපුර බලන්න ලැබෙන්නෙ හොලිවුඩ් චිත්‍රපටි. (දන්නවනෙ, විවිධ මාර්ග වලින් ලැබෙනව ;) සිංහල චිත්‍රපටි බලන්න බොහොම කැමැත්තක් තිබුනත්, චිත්‍රපටි ශාලාවකට යන්න වෙලාව හොයාගන්න හරිම අමාරුයි. පුළුවන් හැම වෙලාවකම හොඳයි කියල හිතෙන සිංහල චිත්‍රපටියක් බලන්න කොහොම හරි යනව.

හොලිවුඩ් චිත්‍රපටි රසිකයන්ට 2008 වසර මතක හිටින වසරක්. මේ වසර තුළ නිකුත් වුණු බොහොමයක් චිත්‍රපට අති සාර්ථකයි. (මං කැමති වෙන්න හේතු වෙන සියළු කාරණා පාහේ ඒවායේ තිබුණා) මගේ සමීක්ෂණය වෙන්නෙ, මේ වසර තුළ නිකුත්වී, සාර්ථක වුණු චිත්‍රපටි කීපයක් ඇසුරෙන් වැඩි දෙනාගේ මනාපය දිනාගන්නෙ මොන චිත්‍රපටියද කියල තෝරන එකයි. හැබැයි ඡන්දෙට දාල තියන චිත්‍රපටි 6 තේරුවෙ මගේ කැමැත්ත අනුව. ඒ අතරින් කැමතිම එක තෝරන එක තමයි ඔයාලගේ වැඩේ. ;)

චිත්‍රපටි ලැයිස්තුව මෙහෙමයි;
Iron Man
The Incredible Hulk
Wall-E
The Dark Knight
Indiana Jones and the Kingdom of the Crystal Skull
Madagascar - Escape 2 Africa

මේ ලැයිස්තුවෙන් Wall-E හැර අනෙක් 5ම ලංකාවෙ ශාලාවල ප්‍රර්ශනය කළා. (Madagascar - Escape 2 Africa ළඟදීම ප්‍රදර්ශනය කිරීමට නියමිතයි)

Iron Man, Hulk සහ The Dark Knight කියන චිත්‍රපටි 3ම පැරණි චිත්‍රකතා පොත් ඇසුරෙන් නිපැයුනු කතාවීම විශේෂත්වයක්. මං හිතන්නෙ මේ දවස්වල හොලිවුඩ් වල තියන එක රැල්ලක් තමයි චිත්‍රකතා වීරයින් සිනමාවට නගන එක. ඒකට වගකියන්න ඕනෙ X-Men සහ Spiderman චිත්‍රපටියි. (Iron Man හි දෙවැන්න ලබන වසරේදී - එනම් මුල් චිත්‍රපටයෙන් එක් වසරකට පසුව ප්‍රදර්ශනය කිරීමට නියමිතවීම විශේෂත්වයක්)

Wall-E කියන්නෙ බොහොම අපූරු ත්‍රිමාණ කාටූන් චිත්‍රපටියක්. එහි කතාවටත් ව‍ඩා මගේ හිත ගියේ Wall-E කියන රොබෝවට එහි නිර්මාපකයන් විසින් දී තිබූ හැඟීම් ප්‍රකාශකිරීමේ ආකාරයයි. ඒ රොබෝවෙන් සතුට, දුක, බය, ආදරය, කරුණාව වගේ හැඟීම්, වචනයෙන් විස්තර ළ නොහැකි තරම් අපූරුවට එහි නිර්මාපකයන් විසින් ප්‍රකාශය කරණු ලැබුවා. එය නම් විශිෂ්ට "ඇනිමේෂන්" විස්කමක්.

මේ ලැයිස්තුවේ ම‍ගේ ප්‍රියතම චිත්‍රපටියත් තියනවා. ඒ තමයි The Dark Knight. එය Batman Begins චිත්‍රපටියේ දෙවන කොටසයි. පැය 2කට අධික කාලයක් දිවෙන මෙහි, සෑම තත්පරයක්ම ත්‍රාසයෙන් අනූනව කතාව ගලායෑම අතිවිශිෂ්ටයි. සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට කතාවෙහි ගලායාමට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නෙ ඒ නිසාමයි. කතාවෙහි 'වීරයා' Batman (Christian Bale) වුවද, එහි 'සතුරා' වන Joker (Heath Ledger) ගේ චරිතය මෙතෙක් හොලිවුඩයෙන් පිටවුනු සියළුම චිත්‍රපටිවල සිටි සතුරන්ගේ චරිතයන්ගෙන් හාත්පසින්ම වෙනස්, චිත්‍රපටය පුරා ප්‍රධාන තේමාව පවට පත්වන චරිතය බවට පත්කොට ඇති ආකාරය, සුවිශේෂ කතා ලිවීමේ ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා. අති සූක්ෂම ‍සොරකු වන Joker ලෙස Heath Ledger කරන සාර්ථක රඟපෑම එදා මෙදාතුර චිත්‍රපට ඉතිහාසයේ දැක්වුනු හොඳම රංගනයන් අතලොසට එක්වන බවට චිත්‍රපට විචාරකයින් පැවසීම අතිශොක්තියක් නොවෙයි. (Heath Ledger නම් විශිෂ්ඨ රංගන ශිල්පියා The Dark Knight ප්‍රදර්ශනය වීමටත් පෙර අකාලයේ මෙලොවින් සමුගත් බව කණගාටුවෙන් ලියාතබමි.) කතා ලිවීම, අධ්‍යක්ෂණය, රංගනය උසස්ම තලයක තිබෙන මෙම චිත්‍රපටියේ සංගීතයද සුවිශේෂයි. ප්‍රේක්ෂකයාගේ ත්‍රාසය තව තවත් තීවෘකරන අයුරින් සංගීතය මුසුකර තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නැති තරමට සාමාන්‍යයි.

මෙතරම් විශිෂ්ඨයැයි මා කියන, මගේ ප්‍රියතම චිත්‍රපටියේ එක් වැදගත් අතපසුවීමක් "දෙවනි වරටත්" චිත්‍රපටි ශාලාවේ එය නරඹද්දී මට අසුවුණා. එය සංස්කරණ / සහාය අධ්‍යක්ෂණ / කලා අධ්‍යක්ණ ‍දෝෂයක් විය හැකියි. (මං හරියටම කෝකද කියල කියන්න දන්නෑ.) කතාවට ඉන් හානියක් නැතත්, එය යම් පමණකට චිත්‍රපටියේ ප්‍රතිරූපයට හානිකර විය හැකි බවයි මගේ හැඟීම. අතපසුවීම මෙතැන යැයි මා මෙහි සඳහන් නොකර, පසු දිනක ලිවීමට සිතුවා.

තවත් ත්‍රිමාණ සජීවීකරණයක් වන Madagascar - Escape 2 Africa චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රධර්ෂණය ඇරඹුනේ පසුගිය නොවැම්බර් 7වැනිදායි. එයද Madagascar නම් චිත්‍රපටියේ දෙවැන්නයි. මේ වන විට ඇමරිකානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරමුණෙහි සිටිනව. ලංකාවේ චිත්‍රපටි ශාලාවකත් මෙය ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වුවත්, කවදාද යන්න තවම සඳහන් නැහැ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නම් මා මීට පෙර බ්ලොග් සටහනක පළකලා.

දැන් ඉතින් ඔය‍ගොල්ලන්ට තියෙන්නෙ මගේ පුංචි සමීක්ෂණයට තමන්ගේ මනාපය ලකුණු කරල දායක වෙන එකයි. ඒකට බොහොම ස්තූතියි! චිත්‍රපටි වැඩි වැඩියෙන් බලන්න ලැබේවා!! ;)






Thursday, November 06, 2008