Monday, November 25, 2013

උදව්ව!

රෑ ජාමෙ වෙනකං වැඩ කරන එක පුරුද්දකට ගිහින්ද මන්දා. එදා රෑ කන්තෝරුවෙන් එළියට බහිද්දි 12ත් ඩිංගක් පහුවෙලා. කෝල් කරල ගෙන්නගත්තු කැබ් එකත් මං එනකං පොඩි නින්දක් දාගෙන.

මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව.


“කොහාටද යන්නෙ?“ අර දැක්ක වගේ මතක ඡායව අහපි!

මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල සීයලගෙ කාලෙ වගේ නං මේ දෙබසෙ මගෙ කොටහ මේ වගේ වෙන්න තිබුණා.

“මුන්නැහේ කොහෙද මේ රෑ ජාමෙ. කොයි පැත්තටද යන්නෙ ඕනෙ. හා ගොඩවෙමුකො“

(ඔව් ඉතිං ඒකාලෙ වෑන් නෑ තමා. ලොරිබාගයක් හරි ගොං කරත්තයක් හරි හිතාගමුකො.)

ඒත් අද කාලෙ මේ වගේ ප්‍රශ්නයක්... මේ රෑ ජාමෙ... මර මංගල්ලයකට කොටුවෙන්න තමා මේ යන්නෙ... මාව මංකොල්ලකන්නද? මගෙ ගාව ඒ හැටි සල්ලියකුත් නෑ. කැබ් එකට දෙන්න ගානටම වගේ තියෙන්නෙ. ඒත් ඉතිං මූ ඒක දන්නෙ නෑ නෙ.

අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනකං ඒ මිනිහ එතන එබිල ඉන්නව. බොරුවක් කියල ඉක්මනටම මාරුවෙලා යන එක තමා හොඳම වැඩේ. මගෙ නිදිමත බේරෙන මොළේ කිව්වෙ ඒක. ඒත් මූ යන්නෙ කොහෙටද කියල නොදන්න මං කොහෙ යනව කියල කියන්නද?

“කැළණියෙ!“

මදැයි කොලා! සහසුද්දෙම්ම ඇත්තම කිව්වා. ඒත් දැං මං බලන් ඉන්නෙ ඒ උත්තරෙන් අර මිනිහගෙ බලාපොරොත්තු හොස්ගාල කඩාවැටිල මට නිදහසේ ගෙදරයන්න පුළුවන්වෙයි කියල.

“කොස්වත්ත පැත්තෙන්ද යන්නෙ?“

මලා...! තාම ඉවර නෑ. හැබැයි මට උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහුවෙ. මට ගෙදර යන්න විදි තුනක්ම කියනව. කොස්වත්ත එක විදිහක් විතරයි.

“රාජගිරියෙන් යන්නෙ“ මං කියාපි.

මොහොතකට ඒ උත්තරේ කියපු එකගැන ආඩම්බර උනේ දැං මට මෙතනිං මාරුවෙලා යන්න පුළුවන් කියල හිතාගෙන. ඒත්... බේස්ලයින් එකෙන් යනව කිව්වනං කිසි ප්‍රශ්නයක් නෑ. කට ඉස්සර උනානෙ කියල ආයෙත් ඒ ආඩම්බරේ මකබෑවිලා ගියා.

“මගෙ සල්ලි නැතිවෙලා. කොහෙ හරි වැටිලා. මං මේ මහරගම ඉඳං පයින් එන ගමන්...“

මට එකපාරටම මතක්වුනේ බස්වලට නගින හිඟන මිනිස්සු කියන කතා. මේ වගේ කතා කොයි තරං අහල තියනවද. උන් කියන්නෙම බොරු කියල ඕනෙ පුතයෙක් දන්නව වුණාට එක බස් එකකින් කීයක් ලැබෙනවද! ඒ හොයන සල්ලි උන්ට ලැබෙනවනං ඒත් එකක්. ඕව යන්නෙ උන්ගෙ මහ මුදලාලිලටනෙ. ඒ කොහොම උනත් මට හිතුනොත් පිනටනෙ කියල මාත් දීල දානව. මං කැමති සිංදුවක් හෙම කිව්වොත් ඉතිං කීයක් හරි දෙනවම තමා.

“දිගටම ඇවිදල කොන්දත් හොඳටම රිදෙනව මල්ලි. මාව ඇතුල් කෝට්ටෙන් දාන්න පුළුවන්ද? මං අයිඩෙන්ටියත් දෙන්නං“

ඔන්න මිනිහ නිශ්චිත ප්‍රශ්නයක් ඇහුව. දැං බෝලෙ මගෙ පැත්තෙ. මං ටිකක් වෙලාව ගත්ත උත්තර දෙන්න.

“දන්නවනෙ ඉතිං අද කාලෙ...“

වෙලා අරං කල්පනා කලාට හේතු කාරණාවකුත් මං කිව්ව.

අවුරුදු පනහක විතර වයසක් පෙනුන මේ පුද්ගලයගෙ මූණෙ හොර පාටක් පෙනුනෙ නෑ. පයින්ම ආවයි කියල ඔප්පුවෙන තරමට මනුස්සයගාව හොඳටම දාඩිය ගඳයි. කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබෙන එකත් කොයිතරම් දෙයක්ද. මේ මිනිහ කියන්නෙ ඇත්තනං මෙතන දාල යන එකත් මහ පව් වැඩක්. මට වුණත් මේ වගේ අමාරු අසරණ වෙලාවක් එන්න පුළුවන්. ඒත් මේ හොරෙක් නං...

ඇත්ත නැත්ත හරියට දැනගන්න ෂර්ලොක් හොම්ස් මූඩ් එකට එන්න ඕනෙ කියල හිතුනට හරියන්නෙම නෑ වගේ. බයත් අනුකම්පාවත් අතර මං අසරණ වෙලා. ඒත් මේ කාලෙ ඇහෙන එක එක කතා නිසා බය ඉස්සර වෙනව.

ඊළඟ මොහොතෙ මම බැලුවෙ ඩ්‍රයිවර් අයිය දිහා. මිනිහත් සයිඩ් කණ්නාඩියෙන් බලාගෙන ඉන්නව.

“අයියෙ මොකද කියන්නෙ?“

මට එහෙම කියවුණා. මගේ අසරණකම මටම තේරුණා.

“මහත්තය කැමත්තක් කරන්න“

ඒ ඩ්‍රයිවර්ගෙ උත්තරේ. ඒක අහගත්ත මමයි ගොනා! දැං ඉතිං හිතහදාගන්න වෙනව. ඒත් දන්න සෙල්ලං දාල තව වාක්‍ය දෙකක් විතර ගැටගහගත්ත.

“කොහෙදිද සල්ලි නැතිවුණේ?“

“මේ... පර්ස් එක තියනව. සාක්කුවෙ තමා සල්ලි දාන්නෙ. කොහෙදි හරි වැටිල වෙන්නෝනෙ. අටසියගානක් තිබුණා.“

“කොහෙද වැඩකරන්නෙ? කොහෙද ඉන්නෙ?“

“මං කොස්වත්තෙ ඉන්නෙ. අතේ කීයක්වත් නෑ. පයින්ම තමා යන්න වෙන්නෙ. මල්ලි මම මේ අටේ විතර ඉඳන් මේ එන්නෙ...“

එකපාරටම අනුකම්පාව ඉස්සර වුණා. ප්‍රශ්න ඇහිල්ල පැත්තක තියල මං තීරණයක් ගත්ත.

“හා නගින්නකො“

මිනිහත් නැගල දොර පැත්තට වෙන්න වාඩි වුණා.

දැං යනගමන්. මගෙ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙනව. මේ මිනිහා මගේ එහාපැත්තෙ. දැං ඉතිං මොනව වුණත් පරක්කු වැඩියි. සල්ලි ඉල්ලුවොත් නං තියන ගානක් දීල දානව. වෙන දෙන්න තියෙන්නෙ ෆෝන් එක විතරයි. පිහියක් හරි ඇදල ගත්තොත් කියල සූදානං සරීසෙං ඉන්න එකත් හොඳයි. මූ වාහන මංකොල්ලකාරයෙක්ද? යනවාහන වලට බලෙන් නැගල වාහන උස්සන සිද්දි කොච්චරනං උනාද.

මං කෝකටත් කියල දිගටම මිනිහගෙ පැත්තට රබර් ඇහැ දාගෙන ගියේ. විශේෂයෙන්ම අත්දෙක දිහා. මිනිහනං ජනේලෙන් එලිය බලාගත්තු ගමන්.

“අයිය කොහෙද වැඩකරනව කිව්වෙ?“

“මං ජපුර කැම්පස් එක ගාව කොමිනිකේෂන් එකක වැඩ කරන්නෙ. ඒ ඉඳල එද්දි තමා දැනගත්තෙ සල්ලි වැටිල කියල.“

“ආ එහෙමද. කොස්වත්තෙ කොහෙද ගෙවල්?“

“පොලිසිය ගාවම...“

යන දිගටම කතාවට අල්ලගන්න එක මගේ කට්ටකමක් කියල හිතුනු නිසා මං එහෙම කලා.

නුගේගොඩ ඉඳන් ඇතුල් කෝට්ටෙ හන්දියට ඒහැටි දුරක් නෑ නෙ. දැං ඉතිං මිනිහගෙ ගමනාන්තය ළඟාවෙනව. මොනව හරි කරනවනං මූ දැං කරන්න ඕනෙ. නැත්තං හන්දියෙන් නවත්තල බස්සන්න බැරියැ. 

“ඕගොල්ලො කෙලින්මනෙ යන්නෙ. ඔය ඉස්සරහින් මාව දාන්න...“

මිනිහම ඩ්‍රයිවර් අයියට කිව්ව. මටත් කීප සැරයක්ම ස්තූති කරල ඔන්න දොරත් ඇරිය.

ඒ මොහොතෙ තමා මගේ මොළගෙඩිය මිනිහා හොරෙක් නොවන බවට ස්ථිර කරල අත ඉස්සුවෙ.

“අයියෙ, දිගටම යමු. කොස්වත්තෙන්ම දාගෙන යන්නං“

මිනිහගෙ මූණෙ මලක් පිපුණා වගේ හිනාවක් ආව. ඉතිරි ගමන යනගමන් සැක සංකා බොරු රඟපෑම් නැති කතාබහක් ඇතිවුණා. හැමදාම අපේ කන්තෝරුව ළඟින් යන එන නිසා ආයෙ දැක්කොත් කතා කරල යන්න එන්නම් කියල ඒ මනුස්සය මට පොරොන්දු වෙලා කොස්වත්තෙ පොලිසියගාව පාරකින් බැහැල ගියා.

ඇත්තටම අසරණ වුණු කෙනෙකුට උදව් කරන්න ලැබීම ගැන ඉහවහාගිය සතුටකිනුත් එහෙම මිනිහෙකු ගැන බිය සැක ඇති කරගන්නවුණු තරම ගැන කළකිරීමකුත් හිත ඇතුලෙ දෝලනය වෙන්න ගත්ත.

“අද කාලෙ මනුස්සයෙකුට උදව් කරන්න බයවෙන්න ඕනෙ තරමක්...!“

මම ඩ්‍රයිවර් අයියට කිව්වා.


------------------------------- ෴ -------------------------------

පසු සටහන: මේ සටහන යමෙකුට කියවා රසවිඳිය හැක්කක් හෝ සමාජය ගැන යමක් ගැඹුරින් සිතීමට උත්තේජනයක් හෝ නොවිය හැකියැයි සිතේ. සිතට ගලා ආ වචන සියල්ල ලියා දැමීම පමණක් සිදු කළෙමි.

පෙර ලියූ මෙවැනි වූ ලිපි දෙකක්:
1. මා දුටු දර්‍ශනයක් (I කොටස)
2. මා දුටු දර්‍ශනයක් ( II කොටස)



Tuesday, July 16, 2013

බලාපොරොත්තුව

කඳුළක දියවී
රූටා පතිතවී
වියළුණු මහ පොළවට
උරා සැඟව ගිය
බලාපොරොත්තුව

මේ මහ පොළවේම
කොහේ හෝ
රැඳී ඇති බවම පමණක්
දනිමි!

Monday, June 11, 2012

(ඉතාම) කෙටි දෙබසක්.

"මචං මේක අහල තියනවද? මරු සිංදුව නේ?"

"කෝ බලමු"

"නිකං මාර විදිහට වදිනව නේ?"

"හ්ම් අහල බලමු
"

"මූ අළුත් පොරක්. හැබැයි මාර ඩයල් එක. සමාජෙට තමා ගහන්නෙ."

"හ්ම්..."

"මුගේ මේ සිංදුවත් සිරා. ඉන්ඩකො තාම ලෝඩ් වෙනව"

"බලමු"

"එහෙම තමා සිරා. සමාජෙ වැරදි තමා කියන්න ඕනෙ. නැද්ද!"

"හ්ම්..."

"මේක සිරාවට වදිනව නේ. නිකං කාල් මාක්ස් වගේ තමා සමාජෙට දෙන්නෙ"

"හිහ්!"

"ඇයි?"

"නෑ... උඹ කාල් මාක්ස් ගැනත් දන්නවද?"

"ඇයි ඉතිං එහෙම අහන්නෙ..... කාල් මාක්ස් කියන්නේ.......... විප්ලවයක් කරන්න හදපු කෙනෙක් නෙ?"

"හිහ්!"

"ඇයි?"

Monday, June 04, 2012

නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්!

රාජිත දිසානායක නාට්‍ය උළෙල
සහ
අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා

වේදිකා නාට්‍යයක් බලනව කියන එකත් ලේසි නෑ අද කාලෙ. නාට්‍යයකට වෙලාවක් වෙන් කරගන්න එක සෑහෙන්න අභියෝගයක් වෙන්නෙ චිත්‍රපටි වගේ එක තැනක මාසයක් හමාරක් නාට්‍ය පෙන්වන්නෙ නැති නිසා. යන්න පහසු රඟහලකට, බලන්න කැමති නාට්‍යක් එන්නෙ කාලෙකට වතාවක්. ඒ එන එකම වතාවට මේ කාර්යබහුල ජීවන රටාව අස්සෙන් පොඩි චාන්ස් එකක් හොයාගන්න පුළුවන් කියන්නෙ ඉතිං පූරුවෙ ලාවට හරි කරපු පිනක් පල දෙනව කියන එක.

“ඔච්චරම ඕනකමක් තියනවනං ඕකට වෙලාවක් වෙන් කරගන්න ඒක ඒ හැටි දෙයක්ද? අනික කොළඹට කිට්ටුව ඉන්න අපිට නාට්‍ය බලන්න කොයි තරං අවස්ථා තියනවද?“ එහෙම මටම හිතුනට වැඩේ ඒ විදිහට වෙන්නෙම නෑ. ‘රැකියාව සහ තවත් කතා‘ නිසා.

කොහොමිං කොහොම හරි මේ විදිහට බලන්න කැමති නමුත් බලාගන්න පින පහල නොවෙච්ච නාට්‍ය කොච්චර තියනවද. කාලයාගේ ඇවෑමෙන් ඒව වේදිකා වලින් සමුඅරන් යනව. ආයෙ ඉතිං ඒ නාට්‍ය බලන්න කවදාවත්ම බෑ.

ඒත් මේ කියන්න යන්නෙ ඒ වගේ වේදිකාවෙන් බැහැල ගිය නාට්‍ය රැසක්ම මේ ජූනි මාසෙ ආයෙත් වේදිකාවට ගොඩ වෙනව කියල එහෙන් මෙහෙන් ලැබිච්චි පොඩි ආරංචියක් දෙකක් ගැන. මේ පළවෙනි ඔත්තුව ලැබුනෙ දිවයින පත්තරෙන්...

රාජිත දිසානායක නාට්‍ය උළෙල

රජිත දිසානායක ගේ නාට්‍ය නම් සෑම වර්ෂයකම පාහේ උළෙලක් වශයෙන් එක දිගට ලයනල් වෙන්ඩ්ට් එකේ වේදිකාගත වෙනව. 2009 දි නම් මාත් බලන්න ගියා. ඒත් මෙවර උළෙලට නිමිත්ත වෙලා තියෙන්නෙ රාජිත ගෙ ‘වීරය මැරිලා‘ නාට්‍යයේ දශ වර්ෂ පූර්ණය. 2002 වර්ෂයේ ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වුනේ ‘වීරය මැරිලා‘ නාට්‍යයි.

නාට්‍ය පෙළගැස්ම:

ජූනි 7 - වීරයා මැරිලා
ජූනි 8 - සිහින හොරු අරං
ජූනි 9 - බකමූණා වීදි බසී

ස්ථානය: කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල
වෙලාව: සවස 6.30

මේ කියපු නාට්‍ය වලටත් වඩා, දැන් වේදිකාවේ කොහෙත්ම දකින්න නොලැබෙන නාට්‍ය කීපයක් රැගත් උළෙලක් ගැනයි මීළඟ ඔත්තුව. පහුගියදාක ටවර් එකේ ‘සුද්දෙක් ඔබ අමතයි‘ බලන්න ගිය වෙලාවක ලැබුණු අත්පත්‍රිකාවක තමයි මේ ගැන තිබුනෙ.

අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා

සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී යුවලගේ රංගන දිවියට වසර තිහක් සපිරීම නිමිත්තෙන්
තමයි ‘අභිනයන‘ පැවැත්වෙන්නේ.
නාට්‍ය පෙළගැස්ම:

ජූනි 18 - සුභ සැන්දෑවක් (ඩග්ලස් සිරිවර්ධන)
ජූනි 19 - ජගන්මාතා (කේ. බී. හේරත්)
ජූනි 20 - තලමල පිපිලා (ජයලත් මනෝරත්න)
ජූනි 21 - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ජූනි 22 - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
ජූනි 23 - පුත්‍ර සමාගම (ජයලත් මනෝරත්න)
ජූනි 24 - අන්තර්ජාලේ (බන්දුල විතානගේ)

ස්ථානය: කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල
වෙලාව: සවස 6.45

බලංගිහාම අපි පින නැත්තෙමත් නෑ වගේ? මෙයින් දෙක තුනකටවත් යන්න ලැබේවා කියල ඔන්න එහෙනං ආරංචි ලිවීම ඉවරයි.

Friday, May 25, 2012

ගංකරේ ගිය මුණුබුරා


ඈත දීපංකරේ නෑදෑ ගෙදරක
වරෙං පුතේ යන්ඩ
උන්ට නොකිය කොහොමද
පුංචි අම්මගෙ කසාදෙ!
මාවත් එක්කරං අත්තම්ම
නැගගෙන බස් එකකට
ගියා මගුලට බුලත් දෙන්නට


එකින් එකට මාරුවෙවී
දොර දෙකේ බස්
තනි දොරේ බස්
අන්තිමට දොර පළුවකුත් නැති
වහලෙ උස වෑන් කබලක
ගිහින් බැස්සා වෙලක් අද්දර


වෙල දිගේ ගුරු පාරෙ
අත්තම්මගෙ පොඩිකාලෙ
මතක දිග ඇරගෙන දුවයි
අතින් ඇදගෙන මාව
ගල් දෙබුක්කාවක නාන ළිඳ 
ලඳු කැලෑ - රබර් වතු
පහුකරං එක හුස්මට


අන්තිමේ
පාරකට දෙකකට වඩා නොදැකපු
නෑගෙදර නෑදෑයො
ආගිය මග කතා
තේ බිස්කට් සංග්‍රහ
මගුල් ආරාධනා!


වැටී රෑ කළුවරත්
ලාම්පු එළියෙන් සෙමෙන්
අපට ලැබුණු ඉස්තෝප්පු කාමරේ
ඇඳට ගොඩවෙලා
නුහුරකුත් ගැස්මකුත්
හිරි ගැහුන නිසා හිත ඇතුලෙ


මිමිනුවෙමි අත්තම්මගෙ කනට
"අත්තම්මෙ, මෙහෙ ලයිට් නැද්ද?
අපි හෙට උදෙම්ම ගෙදර යං?"