dmoz Mozilla's Open Directory Project

Sunday, November 08, 2009

නිශාචර පාපොච්චාරණය

යකාගෙ හෝරාව
යක් හඬක් නගද්දී
වීදි සරමින් ඇදෙන
කාකයන් බලද්දී

නොදැනීම මගෙ තරම
අනුව අන් සියල්ලන්
අඳුරු කුටි එකින් එක
රිංගමින් රස බැලිමි

පර බසක් ගිගුම් දෙන
ගැටෙන වීදුරු නදට
එක්ව පානා සිනහ
එක්ව පෑවෙමි මමත්

දුම් පිරුණු ගුහාවක
රත වැටුණු වතක් දැක
කොයි ලෙසද ඒ රසත්
ඉල්ලමින් පාවුනෙමි

හද හඬන හඬ නොදැන
ගිගුම් දෙන පොඩි ඉඩක
නොදන්නා තාලයට
සඳක් හා වැනුනි තව

යකාගේ හෝරාවෙ
අවසාන කනිසමට
රත් දෙනෙත් දුන් සිනා
සිත් නොදෙයි නික්මෙන්න

සියොත් සර නගද්දී
කැදලි හැර ඇදෙද්දී
මා ඇදුනි කූඩුවට
හෙටක් ගැන සිත් නැතිව

Wednesday, November 04, 2009

කොළඹ පෙන්නන ඒරොප්පෙ පික්චර්



යුරෝපා සංගමයේ තානාපති කාර්යාල සමග Alliance Française de Colombo එක්ව සංවිධානය කරන

'European Film Festival 2009 - යුරෝපීය සිනමා උළෙල 2009'


මෙම මස 7වැනිදා සිට දින 9ක කාලයක් පුරා කොළඹදී පැවැත්වේ. නැරඹිය යුතු චිත්‍රපට තෝරා බේරා ගැනීමේදී මෙවර ප්‍රේක්ෂකයින් අපහසු තාවයකට පත්වන්නේ එකවර ස්ථාන 4ක දර්ශන පැවැත්වෙන නිසා. නමුත් ඒ නිසාම දින 9කදී චිත්‍රපට 30ක් ප්‍රදර්ශනය කරන්නට සංවිධායකයින්ට අවස්ථාව ලැබී ඇත.

මෙහි මුල් දින රාත්‍රී දර්ශනය සුවිශේෂි වන්නෙ මෙවර 'කෑන්ස්' උළෙලේදී 'Cannes Classics' ගණයෙන් තිරගතවීමට තෝරාගෙන තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'ගම්පෙරළිය' චිත්‍රපටය තිරගත වන බැවිනි.

මෙම චිත්‍රපට උළෙල විවිධ රටවල නිමැවූ විවිධ අන්දමේ චිත්‍රපටි රැසකින් සමන්විත බැවින් ප්‍රේක්ෂකයන්ට මෙය මා හැඟි අවස්ථාවක් වනු නොඅනුමානය.

ප්‍රවේශපත්‍ර: සියළු දර්ශන නොමිලේ පැවැත්වේ
දිනය: 2009 නොවැම්බර් මස 7 වැනිදා සිට 15 වැනිදා දක්වා

ස්ථාන:
ප්‍රධාන සිනමා උළෙල - BMICH (9 films of 35mm)

සෙසු ස්ථාන - British Council / Goethe-Institut / Alliance Française (21 films, DVD screenings)

දර්ශන වේලාවන් : ප.ව. 5 සහ ප.ව. 7
උපසිරැසි: ඉංග්‍රීසි

කාල සටහන:



මූලාශ්‍ර: ප්‍රංශ තානාපති කාර්යාල වෙබ් අඩවිය

Monday, September 14, 2009

පැමිණ යන නුඹ...

විමසන්නෙ නුඹයි
මගහැරියෙත් නුඹයි
වද දෙන්නෙ නුඹයි
විඳවන්නෙත් නුඹයි
මුමුණන්නෙ නුඹයි
ඉකිබින්‍ඳෙත් නුඹයි

ඉරබටු තරුව නුඹයි
සැන්දෑ අහසත් නුඹයි
දිය දහර නුඹයි
මහ කඳුයායත් නුඹයි
සුපිපුනු මල නුඹයි
මුළු මල් යායත් නුඹයි

පැමිණියේ...
යළි ගියෙත්

ගැටළුවත් නුඹමයි
විසඳුමක් නැති
නුඹගාවවත්...

නිසොල්මනේ
මගෙ හිත
බලා ඉන්නද
මෙතනම...
මෙහෙම...?

Monday, September 07, 2009

මල්...

ඇදේ මල්
රොන් පුදන්නට
නොදුටු නොඇසූ
බඹර තුඩකට

පිපුණත් පෙරසේ
සුවඳ සළමින්
හමන සුළඟට
බෙදා සිනහව

සුළඟට යා වී
එන බඹර කැල
රොනට එන බව
කවුරු කීවෙද

ගුමු ගුමු ගුමු ගුමු
ළංවනු ඇසුනිද
ළංවනු වැරදිද
කවුරු කීවෙද

බඹර තුඩකට
රොන පිදූවට
මිලිනවෙන බව
කවුරු කීවෙද

හැමූ සුළ‍ඟේ
තරම නොදැනම
වැටුනු මල් ගැන
කවුරු ඇසුවෙද

Monday, July 20, 2009

නාට්‍යක්... නෑ හතරක්... බලමුද?

මාළුවො පාරෙ ඇවිදින්නෙ නෑ - ගස්වල තරු පායන්නෙ නෑ
අහසේ මල් දකින්න හිතුවට එහෙම වෙන්නෙ නෑ



තවත් වතාවක් කලා කටයුත්තක් ගැන ඔත්තුවක් තමයි කියන්න හිතුවෙ. සිංහල නාට්‍ය කලාව ලැදි හැමෝම වගේ රාජිත දිසානායකගේ නාට්‍යවලටත් දැඩිව ඇලුම් කරනවාට සැකයක් නෑ. ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය කලා කරුවෙක්. ඒ වගේම සම්මාන උළෙල ප්‍රදර්ශනයට පමණක් සිර වුණු නාට්‍ය ඔහුගේ නිර්මාණ අතර නෑ. ඔහුගේ සියළුම නාට්‍ය පාහේ දිවයින පුරා දර්ශන වාර විශාල ප්‍රමාණයක් වේදිකාගත වුණා.

රාජිත දිසානායක ගේ නාට්‍ය උළෙලක් මේ සතියේ පැවැත්වෙනවා. ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ. මෙම නාට්‍ය උළෙල සංවිධානය කරන්නෙ හුදෙක් සමාජය හා ගැටීමෙන් තමා ලද අද්දැකීම් කැටි කළ මේ නිර්මාණ ප්‍රේක්ෂකයාට නැවතත් රසවිඳීමට අවස්ථාවක් ලබාදීමට බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ ලයනල් වෙන්ඩ්‍ට් වලින් නොනැවතී මේ උළෙලම පිට පළාත්වලත් ප්‍රදර්ශනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් මෙම නාට්‍ය උළෙල රඟදැක්වීමට අවශ්‍යනම් සංවිධායකයින් අමතා කටයුතු සලස්වාගන්න පුළුවන්.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

ජූලි 23 - මට වෙඩි තියන්නෙ නැද්ද
ජූලි 24 - වීරයා මැරිලා
ජූලි 25 - සිහින හොරු අරං
ජූලි 26 - ආපහු හැරෙන්න බෑ

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


මෙහි ප්‍රවේශ පත්‍ර විශේෂයි...
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමට දැන් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියාව තිබෙනවා. සාමාන්‍ය නාට්‍යක මිළට වඩා අඩු මිළකට මෙම උළෙල සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙන බවත් දැනගන්න ලැබුනා. ඊට අමතරව විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයින් සඳහා සහන මිළ ප්‍රවේශ පත්‍රයක්ද තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර ගැනීමට මේ දිනවල ප.ව.2 සිට 4 දක්වා පමණක් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියි. තවද නාට්‍ය 4ම නැරඹීම සඳහාත් විශේෂ මිළකට ප්‍රවේශපත්‍රයක් ද තිබෙන බව දැනගැන්න ලැබුනා.

ඡායාරූපය: සිළුමිණ පුවත්පතෙන්

Thursday, July 09, 2009

'සංක්‍රමණ' - වාර්තා චිත්‍රපට උළෙලක්


ජූලි මස 17 සහ 18 දෙදින 'සංක්‍රමණ' (Migrations) යන මැයෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් කොළඹ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී නොමිලේ පැවැත්වේ.

මේ අතරට ප්‍රංශ, ජර්මානු, ඉන්දියානු, බංගලාදේශ සහ ශ්‍රී ලංකා චිත්‍රපට ඇතුළත් වේ.

දින දෙකෙහිදීම ප.ව. 3, 5 සහ 7 යන වේලාවන් හිදී ඉහත සඳහන් සංස්කෘතික මධ්‍යස්ථාන දෙකෙහිදීම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

කාල සටහන සඳහා මෙතැනට යන්න.

Alliance Française de Colombo - 11, Barnes Place, Colombo 7
Goethe-Institut Colombo - 39, Gregory's Road, Colombo 7

Saturday, July 04, 2009

උපන්දා මරණය (Death on Birthday)

තම පෙම්වතිය වන ජනකාන්ත නිළිය හමුවීමට පැමිණි මොහොතේදී සිදුවන අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ජනමාධ්‍ය හරහා තම රහස් ජීවිතය හෙළිවීම වළක්වාලීමට වෙරදරණ අමාත්‍යවරයෙකුගේ හාස්‍යජනක කතාපුවත් රැගත් සිංහල වේදිකා ප්‍රහසනය.

නාලක විතානගේ නාට්‍ය නිර්මාණ
උපන්දා මරණය
(Death on Birthday)


අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, මහින්ද තෙන්නකෝන්, උපාලි බණ්ඩාර, සංජය නාඋලගේ රංගනයෙන් දායක වන 'උපන්දා මරණය' ජූලි මස 12 වන ඉරිදා සවස 3.30ට සහ 6.30ට ලුම්බිණී රඟහලේදී මංගල වේදිකාගතවීම සිදු කෙරේ.

මෙම ලිපියේ කමෙන්ට් හරහා ද ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැක.



දර්ශන විමසීම්: බන්දුල විතානගේ (+94 11 281 1818 හෝ +91 71 858 1248)