Monday, July 19, 2010

රටා මැව්වට...


හිතේ නලියන
මගේ කතාව
ලියාගන්න
පායනකන් බලා ඉන්නද
තවත් තරුවක්

රටා මැව්වට
කතා හැදුනට
ඈත දිලෙන තරු රෑනෙ
නැගෙන ගින්දර
මට ඕනෙද?

ගෙදර ගින්දර
මොලවගන්නට
පාර දකින්න
එළිය කරන්න
බියකරු අඳුරු අහසේ
පායාපං
අලුත් තරුවක්

Tuesday, April 13, 2010

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.

මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ.
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

Saturday, April 03, 2010

කුරොසාවා සිනමා උළෙල - AK100


අද්විතීය ජපන් සිනමාකරු අකිරා කුරොසාවා ගේ සිය වැනි ජන්ම දිනය නිමිතිකරගෙන කුරොසාවා සිනමා උළෙලක්
AK100 නමින් මෙම මස 5 සිට 7 දා දක්වා පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නෙ කොළඹ සිනමා කවය විසිනි.

චිත්‍රපට පෙළගැස්ම:

අප්‍රේල් 5
4:30 pm - Rashomon
7:00 pm - Late Autumn

අප්‍රේල් 6
4:30 pm - Equinox Flower
7:00 pm - Sanjuro

අප්‍රේල් 7
4:30 pm - The Makioka Sisters
7:00 pm - Ikiru

ස්ථානය: ජෝන් ද සිල්වා සමරු රඟහල
සියළුම දර්ශන නොමිලේ පැවැත්වේ.

මීට අමතරව මේ සියළු දිනයන්හි වාර දෙක බැගින් (පෙව 9.30 සහ පව 1.30) සිනමා වැඩමුළුද සංවිධානය කර ඇත.

Saturday, March 06, 2010

රෑ පිපුණු කුමුදිනී...

කුමුදිනී
සිනාසී
මද පවන්සර විඳී
තාල නූ පත් වැනී
රඟන්නී...

බඹර ගී මවන්නී
බඹර සුව සොයන්නී
ඒවි හිරු සමගිනී
සිහිනයෙන් දොඩන්නී...

පාන්දර එළිය වී
සිනා කැන් සලිත වී
මුකුලිතව පතිත වී
සිහිනයේ මරු දුටී...

ගුමු ගුමුව නොඇසිනී
හිරු එළිය නොවැටිනී
හිරු නොදිටි කුමුදිනී...

Wednesday, March 03, 2010

රුසියානු සාහිත්‍යයෙන් නිමැවුනු රිදී සිත්තම්

අග්‍රගණ්‍ය රුසියානු සාහිත්‍ය කෘති ඇසුරෙන් නිර්මාණයවුණු රුසියානු චිත්‍රපට පෙළක් මේ දිනවල රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කෙරේ.

The Flight


ලියෝ තෝල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි, ඇලේක්සැන්ඩර් ඔස්ත්‍රොව්ස්කි, ඉවාන් තුර්ගෙනෙව්, ඇන්ටන් චෙටකොෆ්, පියෝදෝර් දොස්තයෙව්ස්කි, මිහායිල් බුල්ගාකොව්, මිහායිල් ෂෝලහව් ආදී විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සළකුණක් සටහන් කල රුසියානු ගත්කතුවරුන්ගේ කෘති ඇසුරෙන් නිමැවුනු මේ සිනමා සිත්තම්ද ලෝක සිනමාවේ විශිෂ්ඨ නිර්මාණ ගණයෙහිලා සැළකෙයි.

චිත්‍රපට පෙළගැස්ම මෙසේයි...
Nest of the Gentry (ඉවාන් ගුර්ගෙනෙව්) - මාර්තු 10
The Flight (මිහායිල් බුල්ගාකොව්) - මාර්තු 17 / 24 කොටස් දෙකක් වශයෙන්
War and Peace - මාර්තු 31 / අප්‍රේල් 07 / 15 කොටස් තුනක් වශයෙන්

සෑම බදාදා දිනක සවස 6ට කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී මෙය නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රය
අංක 10, නිදහස් මාවත, කොළඹ 10

WikiMapia
රුසියානු තානාපති කාර්යාලය

ප.ලි.
පසුගිය ජනවාරියේ පටන් අරඹා ඇති මෙම චිත්‍රපට උළෙල ගැන දැනගැනීමට ලැබුනේ පෙබරවාරියේ වුවද, එහි පෙළ ගැස්මක් ආදී තොරතුරක් සොයාගත නොහැකි වූයෙන් මේ සටහන පලකිරීමට පමා විය. පෙබරවාරි 18 වැනි දා දිවයින වටමඩල අතිරේකයෙන් මෙම තොරතුරු උපුටා පළ කරන ලදී.