Tuesday, November 08, 2011

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී...

තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදී
ලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටී
රුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටී
පිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටී

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී
නෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතී
ගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදී
පානා විරිය ඇත්නම් දිය කුදුයි සිතී

අඩියෙන් අඩිය ගලපාලා මගක් සොයා
පවුරෙන් පවුර රිද්දාලා සවිය සදා
දාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවා
රන් මල හොවා රන් සිවිගෙයි දියත දිනා



පසු වදන: බොහොම කාලෙකට පස්සෙ කවියක් ලිව්වෙ. ඇත්තටම කියනවනං මේ අවුරුද්දට පල කරන තුන්වෙනි ලිපිය. අවුරුද්ද ඉවර වෙන්නත් ඔන්න මෙන්න. කොහොම කොහොම හරි ඒ වැඩෙත් ඇදි ඇදී යතේ තමා.

මේ කවියත් එක පාරටම ලියවුනේ පොඩි හේතුවකුත් එක්ක. ළඟදි මුණගැහුණු මිතුරෙකුගෙ කවියක් දැකලා. ෆවුසාන් මලය පොඩිඑකා උනාට ලියපු කයිය බලන්න එපායැ. ඒත් එක්කම අද හවස හම්බුණු සිතූ නගා අහපි දැං බ්ලොග් ලියන්නෙ නෑ නේද කියල. නෑ තමා. මක්කරන්නද? ඒ අතරෙ ගෙදර ආව විතරයි, දැක්ක අපේ ලිෂාන් ගෙ ලස්සන කවි පොඩ්ඩක්. ඒකට කමෙන්ට් පාරකතු දැම්ම. මේ ඔක්කොම හින්දද මන්ද කොහොම කොහොම හරි මගෙ කවියෙ පේලි ටික ගැටගැහුණා. ඔක්කොමට බොහොම පිං! :D