පළමු කොටස මෙතැනින් කියවන්න.නුගේගොඩදී දුටු ඒ මිනිසා නිසා මගේ සිතට ඇතිවූයේ මහා කේන්තියකි. නොරිස්සුමකි. මුදල් නොමැතිකමට හිඟාකෑම එකකි. නැතිබැරිකම කියා හිඟමනේ යන මිනිසුන් කොතෙක් වෙද්ද? එහෙත් මෙසේ මිනිසුන් රවටා මුදල් කඩාවඩා ගැනීම කෙසේ අනුමත කරම්ද? ඔහු සෙල්ලම් කළේ සෑම මිනිසෙකුගේම සිතෙහි අඩු වැඩි වශයෙන් ඇති දයාව, අනුකම්පාව සමගයි. අන්ත අසරණ දර්‍ශනයක් ජනාකීර්‍ණ තැනක අපූරුවට රඟදක්වන ඔහු විනාඩි කීපයකින් සෑහෙන මුදලක් සොයාගනී. දවස පුරා බස්වලට ගොඩ වෙමින් කවි හෝ සිංදු කියමින් වෙහෙසෙනවට වඩා මේ ක්‍රමය වෙහෙසකින් තොරය. ක්‍ෂණිකව දවස් ගාණකට මුදල් ලැබේ.
සමාජයේ එක් මිනිසෙකු තවත් මිනිසුන් ගණනාවක් තම අල්ලේ නැටවූයේ එසේය. සත්‍ය නොදත් අනෙක් මිනිසුන් තමා දයාවෙන්කළ කාර්‍ය ගැන සතුටු සිතින් නිවෙස් බලා යති.
නමුත් තවත් මොහොතකින් මගේ සිතේ ඇතිවූ තරහ නිවීගියේය. උදාසීන හැඟුමින් සිත පිරීණි. හේතුව...
අද සමාජය සංකීර්ණය. අප දෑසින් දකින කිසිවක් සත්‍ය නොවේ. "Look beyond what you see..."
පැච් ඇඩම්ස්ට මානසික රෝහලේදී හමුවූ මිතුරා කීවේ එසේයි. වංචාව, කුහකකම මේ සමාජය වසා පැතිරී ඇත. සත්‍ය වසා අසත්‍ය පෙනී සිටී. අප අසන දකින සෑම දෙයකම සත්‍ය වැසී ඇත. ඉතින් මම අර පදික වේදිකාවේ සිටි රංගන ශිල්පියා ගැන සිතුවෙමි.
ඔහු මේ රඟපාන්නේ කැමැත්තකින්ද? එවැන්නක් කරන්නට සමාජය විසින් ඔහුව පොළඹවා ඇත්ද? ඒ රඟපෑමට හේතු මොනවාදැයි මා දන්නේ නැත. කීයක් හරි හොයාගන්නට ජීවිතය පුරාම විවිධ දේ කළ ඔහුගේ නවතම ක්‍රමය මෙය විය හැකියි. තව ටික කලකින් ඔහු තවත් මුදල් මවන ක්‍රමයක් සොයාගනීවි! කෙසේ හෝ මෙසේ මුදල් සොයාගන්නේ නඩත්තු කරන්නට ඔහුට දරු පවුලක් සිටින නිසා වන්නට පුළුවන. රෝගයකට ගොදුරුවී සිටින ඔහුගේ මවට බෙහෙත් ගැනීමට විය හැකිය. නැතිනම් මත්කුඩු වලට ඇබ්බැහි වූවෙක්ද?
මේවාට පිළිතුරු නැතිව අසාධාරණයක් වන බව දැක දැකත් ඊට එරෙහිව යමක් කරන්නේ කෙසේද?
නුගේගොඩ මහරගම වැනි තැන්වල තනි මිනිසෙකුට මෙවැන්නක් කළ නොහැකි බවත් මට පසක් විය. එසේ නම් මේ සොයන මුදල් ඔහුට නොවිය හැකියි. හිඟන මුදලාලිලා ගැන රටම දන්නා නමුත් කිසිවෙක් කිසිවිටෙක ඔවුනට එරෙහි නොවෙති. "රන්සිරිගේ සංග්‍රාමය" කියවා බලා ඇත්නම් (නවකතාව -
කුලසේන ෆොන්සේකා / ටෙලි නාට්‍යය -
ජයලත් මනෝරත්න) මේ ගැන අවබෝධයක් ඔබටත් ඇති.
නුගේගොඩ හිඟන්නන් පාන්දර 3-4 වනවිට ගෙනත් තැන තැන දමති. රාත්‍රියේ නැවත් ගෙන යති. පිංතකා අප දෙන රුපියල දෙක, අවසානයේ නතරවන්නෙ වහල් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිණුමකය. අර හිඟන්නන්ට තුන්වේල යාන්තමට ලැබෙයි.
පින නම් අපට ලැබෙන්නේ අපේ සිතේ ඇතිවන සිතුවිලි සහ අරමුණු අනුවයි. "හිඟන්නෙකුට යම් මුදලක් දුන්නම මමනං දානයක් දුන්නාය කියල සතුටු වෙනව. ඒ මිනිහා ඒ සල්ලි වලින් කුඩු ගහනවද, මිනී මරණවද කියල හිතන්න යන්න ඕනෙනෑ. මොකද දුන්නට පස්සෙ ඒ මුදල අපේ නෙමෙයි..." වරක් දයා රෝහණ අතුකෝරල මහතා දොරමඬලාව වැඩසටහනකදී එහෙම කිව්ව මතකයි. නමුත්, දානය ලබන්නාත් පිංවන්තයෙකු නම් එහි ආනිසංසය වඩා වැඩිබව මා අසා තිබෙනවා.නුගේගොඩට එසේ ආනයනය කරන හිඟන්නන්ට අමතරව හිඟමනෙන් යැපෙන අසරණ පවුල් කීපයක්ම වෙසෙති. ඔවුන්ටද අර මුදලාලිලාට කප්පම් ගෙවන්න සිදුවනවාදැයි මා දන්නේ නැහැ. සුපිරි වෙළඳැල පිටුපස පවුල් දෙක තුනක් වෙසෙති. රේල් පාර අයිනේ අටවාගත් පැල්පත් වල තවත් පවුල් කීපයක්ම වසති. මොවුන්ගේ වෙනත් ජීවිකා ඇත්දැයි මා හට අවබෝධයක් නොමැත. නමුත් උදේ හවස දකින ඒ පවුල් වල පොඩි එවුන්ගේ අනාගතය කෙසේ නම් ලියවී ඇත්දැයි නිතර සිතේ.
________________________________________
"සල්ලි දෙයියන්ගෙ මල්ලි" අද සමාජයේ ආදර්ශ පාඨයයි. එය සත්‍යකි. මුදල්ම පමණක් මූලික වූ සමාජයේ වරක් දෙකක් උඩුගං බලා පීනන්නට උත්සාහ කළද අසරණ වන්නේ අපමය.
හදිසි අවස්ථාවක මුදල් නැතිනම් ගොඩ ඒමක් නැත. මාගේ සමීපතමයන් කිහිප දෙනෙකුට මෑතකදී සිදුවූ සිදුවීම් කිහිපයකදීම මුදල්වලින් තොර පිළිතුරු නොවීය. අසනීපයකදී, මරණයකදී මුදල් වෙනුවෙන් කේවල් කළ හැකිද?
මේ සිද්ධිදාමයන් ගැන සිතමින් සිටිනා අතරතුර ඊයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු
ධර්මසේන පතිරාජයන්ගේ "
අහස් ගව්ව" චිත්‍රපටය නැරඹීමි. එහිද තේමාව වන්නේ විරැකියා ඔස්සේ ඇතිවන තරුණ අසහනයයි. 70 දශකයේ නාගරික තරුණයන් කිහිපදෙනෙකු වටා ගෙතුනු එම කතාවෙන් අසම්මත ක්‍රම ඔස්සේ මුදල් සෙවීමට ගොස් විනාශවන තරුණ ජීවිත ගැනද, අනතුරුව තමන්ටම හිමි මග සොයාගන්නා අන්දමද නිරූපණය වෙයි.
රුපියලේ කාසි වලින් අත්තිවාරම දමා තැනූ සමාජය නම් ගොඩනැගිල්ලේ විවිධ තට්ටුවල මිනිසුන් සරති. සමහරු මහල් නැග ඉහළ යති. සමහරු පහළ වැටෙති. කවුරු කෙසේ දිවි ගෙවුවත් එහි අත්තිවාරමේ ඇත්තේ රුපියල්ය.
"අහස් ගව්ව" ගැන වැඩිදුර තොරතුරු කියාදුන් තාත්තාටත්, මුලින්ම අර මනුස්සයා ගැන මට ඔත්තුව දුන් බුද්ධිකටත්, පැච් ඇඩම්ස් බලන්න මට අනුබල දුන් බෝටත් පළමු කොටසට අදහස් දුන් සියළු දෙනාටත් තුති.