Monday, September 14, 2009

පැමිණ යන නුඹ...

විමසන්නෙ නුඹයි
මගහැරියෙත් නුඹයි
වද දෙන්නෙ නුඹයි
විඳවන්නෙත් නුඹයි
මුමුණන්නෙ නුඹයි
ඉකිබින්‍ඳෙත් නුඹයි

ඉරබටු තරුව නුඹයි
සැන්දෑ අහසත් නුඹයි
දිය දහර නුඹයි
මහ කඳුයායත් නුඹයි
සුපිපුනු මල නුඹයි
මුළු මල් යායත් නුඹයි

පැමිණියේ...
යළි ගියෙත්

ගැටළුවත් නුඹමයි
විසඳුමක් නැති
නුඹගාවවත්...

නිසොල්මනේ
මගෙ හිත
බලා ඉන්නද
මෙතනම...
මෙහෙම...?

Monday, September 07, 2009

මල්...

ඇදේ මල්
රොන් පුදන්නට
නොදුටු නොඇසූ
බඹර තුඩකට

පිපුණත් පෙරසේ
සුවඳ සළමින්
හමන සුළඟට
බෙදා සිනහව

සුළඟට යා වී
එන බඹර කැල
රොනට එන බව
කවුරු කීවෙද

ගුමු ගුමු ගුමු ගුමු
ළංවනු ඇසුනිද
ළංවනු වැරදිද
කවුරු කීවෙද

බඹර තුඩකට
රොන පිදූවට
මිලිනවෙන බව
කවුරු කීවෙද

හැමූ සුළ‍ඟේ
තරම නොදැනම
වැටුනු මල් ගැන
කවුරු ඇසුවෙද