Friday, May 25, 2012

ගංකරේ ගිය මුණුබුරා


ඈත දීපංකරේ නෑදෑ ගෙදරක
වරෙං පුතේ යන්ඩ
උන්ට නොකිය කොහොමද
පුංචි අම්මගෙ කසාදෙ!
මාවත් එක්කරං අත්තම්ම
නැගගෙන බස් එකකට
ගියා මගුලට බුලත් දෙන්නට


එකින් එකට මාරුවෙවී
දොර දෙකේ බස්
තනි දොරේ බස්
අන්තිමට දොර පළුවකුත් නැති
වහලෙ උස වෑන් කබලක
ගිහින් බැස්සා වෙලක් අද්දර


වෙල දිගේ ගුරු පාරෙ
අත්තම්මගෙ පොඩිකාලෙ
මතක දිග ඇරගෙන දුවයි
අතින් ඇදගෙන මාව
ගල් දෙබුක්කාවක නාන ළිඳ 
ලඳු කැලෑ - රබර් වතු
පහුකරං එක හුස්මට


අන්තිමේ
පාරකට දෙකකට වඩා නොදැකපු
නෑගෙදර නෑදෑයො
ආගිය මග කතා
තේ බිස්කට් සංග්‍රහ
මගුල් ආරාධනා!


වැටී රෑ කළුවරත්
ලාම්පු එළියෙන් සෙමෙන්
අපට ලැබුණු ඉස්තෝප්පු කාමරේ
ඇඳට ගොඩවෙලා
නුහුරකුත් ගැස්මකුත්
හිරි ගැහුන නිසා හිත ඇතුලෙ


මිමිනුවෙමි අත්තම්මගෙ කනට
"අත්තම්මෙ, මෙහෙ ලයිට් නැද්ද?
අපි හෙට උදෙම්ම ගෙදර යං?"

6 comments:

  1. harima lassanai thawa liyannako

    ReplyDelete
  2. කාලෙකට පස්සේ මම මේ කියෙව්වේ කවියක් කියලා හිතුන කවියක්..!

    ReplyDelete
  3. Anonymous, ලිෂාන්, තිස්ස අයියා,
    ඇගයීමට ස්තූති!

    ReplyDelete