Wednesday, February 10, 2010

නළඟන නුඹයි...

පිරිපුන් සිතක් කොයි අතකවත් නැත කුරිරු වූ අඳුරම පැතූ
පිරිපුන් ගතක් වෙද කොයි ලෙසත් අනෙකෙකුගෙ සතුටට පෙම් කෙරූ
කඳුළක් නොදත් සතුටේම මිරිඟුව හඹා මුසපත් වී ගැලූ
ලෝකයක් තුළ ආඩම්බරක් නුඹ මගේ සිත කණපිට බැලූ

ආලයක් නොදැනෙන ලෝකයක් තුළ නුඹෙ නුවන් එළියක් මුසූ
තාලයක් නොඇසෙන ලෝකයක් මත නු‍ඹෙ සිනා සිසිලක් ගැලූ
ප්‍රීතියක් එපමණ දුකක් මුසු කළ මා සිතේ සදහට තැබූ
ගීතයක් නෑසුන නළඟනක් නුඹ හදවතින් රිද්මය ඇසූ

විරු දුව නුඹයි ලෝ කවිය නොඇසුව දනන් හට අරුතක් ලියූ
සොයුරිය නුඹයි එක තාලයට පා සළඹ සොලවන හැටි කියූ
මුදු නල නුඹයි මා වෙත හැමූ රූ සිරි මවා මා හද පෙලූ
නළඟන නුඹයි සුසුමක් මුසූ කඳුළක් අරන් මා හද සැලූ



පසුගිය ජනවාරියේ 15 වැනිදා බිෂොප් විද්‍යාලයීය ශාලාවේ IIT Stage Craft ප්‍රසංගයේ වූ එක් අංගයක් මා සිත් තුළ තවමත් රැව් පිළිරැව් දෙයි. එය කම්පනයකි, චිත්තප්‍රීතියකි, සංවේගයකි, ආඩම්බරයකි, සුසුම්ලමින් මෙනෙහි කළ හැකි සංවේදී හැඟීමකි. ඒවූ කලී රත්මලාන විශේෂිත පාසලේ ශිෂ්‍යාවන් පිරිසක් විසින් අපූරුවටත් තාලයටත් ඔවුනට නෑසෙන ගීයේ ලාලිත්වයටත් ඉදිරිපත් කරන ලද නර්තන අංගයකි. ඒ රස විඳීමෙන්
මා සිත්තුළ ජනිතව ගැලූ නිමක් නැති සිතුවිලි හැකි ලෙසින් එක් කොට මේ නිමක් නැති කව ලියූයෙමි.

No comments:

Post a Comment