Monday, July 20, 2009

නාට්‍යක්... නෑ හතරක්... බලමුද?

මාළුවො පාරෙ ඇවිදින්නෙ නෑ - ගස්වල තරු පායන්නෙ නෑ
අහසේ මල් දකින්න හිතුවට එහෙම වෙන්නෙ නෑ



තවත් වතාවක් කලා කටයුත්තක් ගැන ඔත්තුවක් තමයි කියන්න හිතුවෙ. සිංහල නාට්‍ය කලාව ලැදි හැමෝම වගේ රාජිත දිසානායකගේ නාට්‍යවලටත් දැඩිව ඇලුම් කරනවාට සැකයක් නෑ. ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය කලා කරුවෙක්. ඒ වගේම සම්මාන උළෙල ප්‍රදර්ශනයට පමණක් සිර වුණු නාට්‍ය ඔහුගේ නිර්මාණ අතර නෑ. ඔහුගේ සියළුම නාට්‍ය පාහේ දිවයින පුරා දර්ශන වාර විශාල ප්‍රමාණයක් වේදිකාගත වුණා.

රාජිත දිසානායක ගේ නාට්‍ය උළෙලක් මේ සතියේ පැවැත්වෙනවා. ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ. මෙම නාට්‍ය උළෙල සංවිධානය කරන්නෙ හුදෙක් සමාජය හා ගැටීමෙන් තමා ලද අද්දැකීම් කැටි කළ මේ නිර්මාණ ප්‍රේක්ෂකයාට නැවතත් රසවිඳීමට අවස්ථාවක් ලබාදීමට බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ ලයනල් වෙන්ඩ්‍ට් වලින් නොනැවතී මේ උළෙලම පිට පළාත්වලත් ප්‍රදර්ශනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් මෙම නාට්‍ය උළෙල රඟදැක්වීමට අවශ්‍යනම් සංවිධායකයින් අමතා කටයුතු සලස්වාගන්න පුළුවන්.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

ජූලි 23 - මට වෙඩි තියන්නෙ නැද්ද
ජූලි 24 - වීරයා මැරිලා
ජූලි 25 - සිහින හොරු අරං
ජූලි 26 - ආපහු හැරෙන්න බෑ

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


මෙහි ප්‍රවේශ පත්‍ර විශේෂයි...
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමට දැන් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියාව තිබෙනවා. සාමාන්‍ය නාට්‍යක මිළට වඩා අඩු මිළකට මෙම උළෙල සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙන බවත් දැනගන්න ලැබුනා. ඊට අමතරව විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයින් සඳහා සහන මිළ ප්‍රවේශ පත්‍රයක්ද තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර ගැනීමට මේ දිනවල ප.ව.2 සිට 4 දක්වා පමණක් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියි. තවද නාට්‍ය 4ම නැරඹීම සඳහාත් විශේෂ මිළකට ප්‍රවේශපත්‍රයක් ද තිබෙන බව දැනගැන්න ලැබුනා.

ඡායාරූපය: සිළුමිණ පුවත්පතෙන්

Thursday, July 09, 2009

'සංක්‍රමණ' - වාර්තා චිත්‍රපට උළෙලක්


ජූලි මස 17 සහ 18 දෙදින 'සංක්‍රමණ' (Migrations) යන මැයෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් කොළඹ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී නොමිලේ පැවැත්වේ.

මේ අතරට ප්‍රංශ, ජර්මානු, ඉන්දියානු, බංගලාදේශ සහ ශ්‍රී ලංකා චිත්‍රපට ඇතුළත් වේ.

දින දෙකෙහිදීම ප.ව. 3, 5 සහ 7 යන වේලාවන් හිදී ඉහත සඳහන් සංස්කෘතික මධ්‍යස්ථාන දෙකෙහිදීම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

කාල සටහන සඳහා මෙතැනට යන්න.

Alliance Française de Colombo - 11, Barnes Place, Colombo 7
Goethe-Institut Colombo - 39, Gregory's Road, Colombo 7

Saturday, July 04, 2009

උපන්දා මරණය (Death on Birthday)

තම පෙම්වතිය වන ජනකාන්ත නිළිය හමුවීමට පැමිණි මොහොතේදී සිදුවන අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ජනමාධ්‍ය හරහා තම රහස් ජීවිතය හෙළිවීම වළක්වාලීමට වෙරදරණ අමාත්‍යවරයෙකුගේ හාස්‍යජනක කතාපුවත් රැගත් සිංහල වේදිකා ප්‍රහසනය.

නාලක විතානගේ නාට්‍ය නිර්මාණ
උපන්දා මරණය
(Death on Birthday)


අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, මහින්ද තෙන්නකෝන්, උපාලි බණ්ඩාර, සංජය නාඋලගේ රංගනයෙන් දායක වන 'උපන්දා මරණය' ජූලි මස 12 වන ඉරිදා සවස 3.30ට සහ 6.30ට ලුම්බිණී රඟහලේදී මංගල වේදිකාගතවීම සිදු කෙරේ.

මෙම ලිපියේ කමෙන්ට් හරහා ද ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැක.



දර්ශන විමසීම්: බන්දුල විතානගේ (+94 11 281 1818 හෝ +91 71 858 1248)