Saturday, April 11, 2009

වැස්ස වළාහක දෙවියන්ට කියැවුණු කන්නලව්ව

ගොයම කිරි වෙන්නෙ නුඹ හින්දලු සත්තයි
වනපෙත නිල් වෙන්නෙ නුඹ හින්දලු සත්තයි
මහ ගඟ ගලන්නෙත් නුඹ හින්දලු සත්තයි
නුඹ නැතිදා මං නෑ මැරෙණව සත්තයි

අවුරුදු ඒලු කොවුලගෙ ගී ගැයේයා
ගහ මුදුනට ඔන්චිල්ලා බැ‍ඳේයා
වැස්ස වළාහක දෙවියනි ඇසේයා
වැස්සොත් සතුට නෑ පොඩි හිත් බි‍ඳේයා

ආසයි ඉර වටේ ඔන්චිලි පදින්ටයි
ආසයි කද බැඳන් නෑයන් දකින්ටයි
සිරිමා බෝ සමිඳු වැඳ හිත් හදන්ටයි
අවුරුදු දුන්න දෙවියනි මේ අහන්ටයි

අවුරුදු එන්නෙ ගම්මැද්දේ රොක්වෙන්ටයි
එරබදු පිපෙන්නේ ගම හැඩ කරලන්ටයි
කෙත එළි කරන්නේ දඟ දෙන කොලුවන්ටයි
අපි මේ යදින්නේ වැහි නෑවිත් ඉන්ටයි

අවුරුදු කුමාරය නාවොත් ගම්මැද්දෙන්
සෙත් කවි ‍නොවෙයි වස් කවි ඔහෙ කියවෙද්දෙන්
වැහි දෙවියනේ කියනා මේ දුක සද්දෙන්
අහලා පමාවී එව අපි පිං දෙද්දෙන්

අහස ගුගුරුවා ගිය තැනකින් එන්ටයි
පොළව දෙදරවා ගිය තැනකින් එන්ටයි
හුළඟ දෙබෑකර ගිය තැනකින් එන්ටයි
සරු කර ගොයම මයෙ යළි යලටත් එන්ටයි

3 comments:

  1. ආයුබෝවේවා මලණ්ඩ,
    දීඝායු වේවා

    ReplyDelete
  2. කවිය නම් නියමයි, තාලයත් එළි සමයත් එක්ක කිසිදා රස නොවිදි මනෝමය ලෝකයක ගෙනිච්චා!

    සුභ අලුත් අවුරැද්දක් වේවා!

    ReplyDelete
  3. හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අවුරුදුවලින් පසු මෙහි වැසි රැගෙන එන් ලෙසින්...

    ReplyDelete