Sunday, February 08, 2009

මා දුටු දර්‍ශනයක් (I කොටස)

අවස්ථාව I
ස්ථානය : නුගේගොඩ සිටිටිම්බර් අසළ පදික වේදිකාව
දිනය/වේලාව : මීට සති දෙකකට පමණ පෙර සවස 6ට පමණ

මා දිනයේ රාජකාරි අහවර කොට රැකියා ස්ථානයෙන් පිටත්වුනේ රොටරිය පාරේ සිටින මිතුරෙක් මුණගැසීමට යාමේ අරමුණෙන්. පාගොඩ පාරේ නුගේගොඩ කොනෙන් ඇරඹෙන මේ ගමන පයින්ම යෑමට සිතා පදික වේදිකාව දිගේ පියමැන්නෙමි. සිටිටිම්බර් එක අසළ බස් නැවතුම ඒ මොහොතේ ඉතා ජනාකීර්ණ බවක් ඉසිලීය. සෙනග මැද්දෙන් අමාරුවෙන් රිංගා යන මගේ නෙත ගැටුනේ මෙවැනි අමුතුම දර්‍ශනයකි.

බාගෙට වගේ පැහුනු බොකුටු කොණ්ඩයක් ඇති කිලිටි සුදු කමිසයක් සහ කොට කලිසමක් ඇඳගත් කාල වර්‍ණ මනුස්සයෙක් පදික වේදිකාවේ ඇන තියාගෙන සිටියි. ඔහු වටා ඉහිරුණු සුදු සහල් පොදියක් ඔහු අමාරුවෙන් අතින් එක්රැස් කරමින් සිරි මල්ලකට පුරවන්නේය. එහෙ මෙහෙ දුවන මිනිසුන් අතරින් කිහිපදෙනෙක් මේ මිසනිසා වටා නතරවෙයි. ඉන් එක් අයෙක් මුදල් නෝට්ටුවක් අර මිනිසාට දිගුකරයි. ඒ දුන් මුදල කීයක්දැයි ගොම්මං කරුවලේ මට නොපෙනුණි. එතන ඇති කඩයෙන් යමක් මිළදී ගත් කාන්තාවක් මෙසේ කියයි. "අංකල්, ඔ‍ය හාල් දැං ගන්ඩ බෑනේ... මේක අරං ගිහින් කඩේකිං ගන්න..." නෝට්ටුවක් ඔහු අත තැබූ ඇය බස් රියකට ගොඩවීමේ අදහසින් නික්ම යයි. තවත් මිනිසුන් කීපදෙනෙක් අර මිනිසාට මුදල් දෙමින් එතැන කල්නොමරා පිටව යයි.
________________________________________

යම් හේතුවක් නිසා අසරණ වූ අර මිනිසාට අනුකම්පා සහගත තවත් මිනිසුන් උපකාර කරන අයුරු ගමනේ වේගය බාලකරමින් මම නැරඹීමි‍. ඒත් ඒ මිනිසා කෙරෙහි මගේ සිතේ අනුකම්පාවක් පැනනොනැගිනි. ඒ වෙනුවට නොරිස්සුමක්, තරහක්, කේන්තියක් ඇතිවුණි. ඊට හේතුව වූයේ මගේ මිතුරෙකු විසින් මීට මාසයකට පමණ උඩදී කියූ කතාවක් සිහිවීමෙනි.
________________________________________


අවස්ථාව II
ස්ථානය : මහරගම කාගිල්ස් ඉදිරිපිට
දිනය/වේලාව : ඉහත සිද්ධියට මාසයකට පමණ පෙර
(දිනක් රාත්‍රියේත් වැඩ කර කෑම ගන්නා අතරතුර අල්ලාප සල්ලාපයේදී මිතුරෙක් කී කතාවකි.)

මහරගම කාගිල්ස් වෙළඳසැලට ඇතුළු වන ගේට්ටුව අසළින් යමින් සිටි මිනිසෙක් හදිසියේම වෙවුලා ඇදගෙන වැටී ඇත. ගැහෙමින් කටින් සෙම පිටකරමින් සිටින මේ මිනිසා මීමැස්මොර රෝගියෙකු වග අනුමාන කළ හැකිය. වැටෙන මොහොතේ ඔහු අත වූ සිරිමල්ලේ තිබූ හුන්ඩුවක් දෙකක් පමණ වූ හාල් එහි තැන තැන විසිරී ගොස් තිබුණි.

මොහොතකින් එහි වටවූ පිරිස මේ මිනිසාට ප්‍රථමාධාර කොට ඔහුට සිහි එළවුනු තැන, දුක් අ‍ඳෝනා තබමින් අර සිරිමල්ලට විසිරුණු හාල් එකතුකරන්නට විය. මේ අනුකම්පා සහගත දර්‍ශනය දුටු පිරිස ඔහුට මුදලින් උපකාර කරන්නට වුණි. කාර්-බාර් වලින් කාගිල්ස් ආ නෝනලාද මහත්තයලාද ඒ අතර විය.

මගේ මිතුරා පැවසුවේ ඔහු මේ සිද්ධිය දු‍ටු දෙවන අවස්ථාව එය බවයි.

නුගේගොඩ සිද්ධිය දු‍ටු මසිතට අනුකම්පාවක් නොආවේ මේ කතාව සිහිවීම නිසායි.

(II කොටස බලාපොරොත්තු වන්න)

10 comments:

  1. අනුකම්පා කරන්න, පුහුදුන් මිනිසුන් , ජීවත් වෙන්න අලුත් ක්‍රම හොයාගෙන.මිනිසුන්ගේ අනුකම්පාව අරගෙන ජීවත්වෙන පිරිස් ඕනෑ තරම් අද ලෝකේ. බස් වලට නගින, වෛද්‍ය රෝගාබාද සහිත යැයි කියන ඇතැම් පිරිස් ළඟ රෝග විනිශ්චය කාඩ් පවා බොරු දේවල් ලියූ ලිපි වගයක් තියෙන්නේ.සමහර කාඩ් හිස්. මම දැකලා තියෙනවා. ඒත් ඒ අයත් ජීවත් වෙන්න ඕනෙ. ඒකට තරහක් හෝ නොරිස්සුමක් ඇතිකරගන්න එපා. නිසි දහමක්, ජීවත් වෙන්න හරි ක්‍රමයක් නොදන්නාකම නිසා ඔවැනි දේට පෙළඹෙන්නේ

    ReplyDelete
  2. ශ්‍රී ශානු මහත්මයා, මේක උභතෝකෝටික ප්‍රශ්නයක්. පරලෝ සැපත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා වෙස්වලාගෙන හිඟන්නෙක් වගේ අවුරුදු ගනනක් පර්යේෂණ කරලා යම්කිසි නිගමන වලට ඇවිල්ලා, එතුමාගේ නිගමන පොත් වශයෙන් ප්‍රසිද්ධ කරල තියෙනව. ඒවායේ සඳහන් වෙන්නෙ යාචකයොත් එක්තරා ව්‍යාපාරිකයින් කොටසක් කියලයි. නමුත් ඔබට දකින්න ලැබුනෙ ඉතාමත් සානුකම්පික දර්ශනයක්. ඔබේ හිත ඒ දර්ශනයෙන් උනුවෙන්න ඇති. කෙසේ වුවත් සාමාන්‍ය ලාංකිකයා උතුම් මනුශ්‍යයෙක්. එහෙම කියන්නෙ, අනුන්ගෙ දෙයකට හිත උනුවෙන නිසා. (ඔය ලොකු කාර් වල යන අය නෙවෙයි ). ඔය දුප්පත් මනුස්සය කරන්නෙ බොරුවක්ද කියල හොයන්න යාමෙන් අපිට ඇති වැඩක් නැහැ නේද? කරන්නෙ බොරුවක් නම් එයාටම කවද හරි ඒක පල දෙයි. අනුන්ගෙ අවාසනාවක් දැකල ඒකට පිහිට වෙන්න හිතක් ඉපදුන නිසා ඒ මනුස්සය ඔබට කුසල කර්මයක් කිරීමට අවස්ථාවක් ලබා දීල තියෙනව. මට නම් ඔය සිද්ධිය පේන්නෙ එහෙමයි.

    (බිග් මැච් එක ලඟයි නේද, කොඩි දාගෙන හිටියට ආනන්දෙ දිනන්නෙ)

    ReplyDelete
  3. මම දවසක් අලව්වේ සිට කොළඹට දුම්රියෙන් පැමිණි අතර දුම්රියට වරින් වර මෙවැන බොහෝමයක් පිරිසක් ආවා.

    මම හිතන්නේ 20ක් විතර..

    මට එදා හිතුනේ රාගම රෝහලෙන් එලවපු අයද කියලා :D

    ReplyDelete
  4. බෝ, සරත් මහත්මයා, ඩනිෂ්ක :
    ස්තූතියි අදහස් බෙදාගත්තට. මේවා අද සමාජයේ සුලභ දසුනක් බවට පත්වෙලා. බස්වලට කෝච්චිවලට නගින බොරුවාර්තා / ලෙඩ / තුවාල පෙන්නලා සල්ලි කඩාගන්න "යාචකයො" අනන්තවත් මුණගැහෙනවා.

    ඒ ගැන හිතල තරහගැනීම එක අතකට මෝඩ වැඩක්. මනුස්සයෙකුට උදවුවක් කලා කියල හිත සතුටු කරගන්න යමක් කරලා පැත්තකට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

    මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයගෙ පොත් කීපයක් කියවල තියනවා. එතුමා අවසන් මොහොත දක්වාම ඉරිදා දිවයිනට ලියූ ලිපිත් කියෙව්වා. එතුමාගේ සමාජ දැක්ම අපේ කරගන්න පුළුවන්නම් ජීවිතය හරිම පහසු ගලායෑමක් වේවි.

    අද මෙහි දෙවන කොටස පළවෙනවා. ඒකත් කියවන්න. මේ කතාවේ මා දකින පැත්ත ලියවෙන්නෙ ඒකෙදියි. :)

    නැවතත් ස්තූතියි!

    ReplyDelete
  5. (සරත් මහත්මයා, අපි ඉතිං හැමදාම කොඩි දාගෙන ඉන්නෙ. මෙදා පො‍ටේ දෙනව බැටේ!!! මැච් එක බලන්න මේ පැත්තෙ එන්න අදහසක් නැද්ද?)

    ReplyDelete
  6. ඔය වගේ දේවල් දෑන් සාමාන්ය විගෙනයි එන්නේ.හොරකන් කරන්නේ නෑතිව මිනි මරන්නේ නෑතිව ඔහොම කියක් හරි හොයා ගන්න එකත් හොදයි එක අතකට

    ReplyDelete
  7. මේක හරිම සුලබ ක්‍රමය. මන් නම් හිඟන්නන්ට සල්ලි දෙන්නේ නැහැ. මේ රටේ මෙච්චර මිනිස්සු හිඟා නොක මැරීගෙන සල්ලි හොයලා ජීවත් වෙද්දී මුන් හිඟා කන එක ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් රස්සාවක් කරගෙන.

    ReplyDelete
  8. @nuwan, ම : ඔය දෙන්නගෙ අදහස් එකිනෙකට වෙනස්. එකම දෙයක් ගැන එක එක්කෙනා දකින විදිහ තමයි. මං ඔය දෙන්නගෙම අදහස් වලට එකඟයි. මොකද ඔයගොල්ලො ඒ ඒ තීරණ වලට එන්නෙ තමුන්ගෙ ජීවිත අත්දැකීම් අනුව. ඉතිං වැරැද්දක් නෑනෙ. මෙතනින්ම පේනවා සමාජයේ විවිධාකාර කම... :)

    ReplyDelete
  9. "බිග් මැච් එක ලඟයි නේද, කොඩි දාගෙන හිටියට ආනන්දෙ දිනන්නෙ"

    නැ මෙපාර අල උනා...

    හැබැයි අපේ කොල්ලනම් පිට්ටිනය මැද්දේ අන්තිමට :)

    ReplyDelete
  10. තව පොඩ්ඩෙන් අල කනවා... ;)

    ReplyDelete