Tuesday, December 22, 2009

[Announcement] Drummer Wanted!

The Colombo based extreme metal band Aural Discord is looking for a competent drummer to join their ranks of purely music-oriented and open minded individuals.

Aural Discord are not confined to a genre, but play everything from thrash through melo-death to out-and-out death metal and are open to, and welcome, experimentation. They've been jamming together for over an year now and have quite a few original compositions they're looking to record.

We have our own place (Nightmare Studios) for practicing.

Aural Discord names a few of their influences as
Wintersun
In Flames
Arsis
The Absence
Death
Behemoth
Opeth
Nevermore etc.

If you are a drummer or if you know a drummer who'll be interested, drop a comment here, or give Suran a ring on 0775487108, and they'll put you in touch with some of their work.

Wednesday, December 02, 2009

පංති පේළිය


මහ ඝෝෂාව
උඩ පංතියෙ උන්
සිරික්කියෙ දෝංකාරය
පංති පේළියම දෙවනත් කරගෙන...
බාල් නැටුමකට
සැරසෙන හැටි
හොඳම පංතියලු!

මහා ඝෝෂාව
යට පංතියෙ උන්
ගෝරණාඩුව ගිගුම් දෙයි
පංති පේළියම දෙවනත් කරගෙන...
කන්කෙඳිරියකුත්
ඒ අස්සෙන්
එපා කරපු පංතියලු!

හූල්ලමින් සුසුම්ලමින්
මං
අතරමැද අතරමංව...

Tuesday, November 24, 2009

All Jazz lovers in SL... here's your chance!


Fine tune you music skills with the Nils Olav Johansen (MySpace page) Jazz Quartet from Norway.

The acclaimed jazz band will conduct workshops for music students, teachers and jazz lovers.

Nov 26th at 3.30pm - University of Moratuwa (Civil Auditorium)

Nov 27th at 2.30pm - University of Colombo (Gymnasium)

Events are free and open to anyone...!


The workshops are organized by Sewalanka Foundation, Arusri Art Theatre and sponsored by the Norwegian Embassy.

for more details
077 2 375 584
http://gallemusicfestival.org

Monday, November 16, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

To the english version of The official statement of Sinhala Bloggers' Union concerning bestweb.lk and myblog.lk

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පල වූ නිල ප්‍රකාශය වෙත : http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si

Sunday, November 08, 2009

නිශාචර පාපොච්චාරණය

යකාගෙ හෝරාව
යක් හඬක් නගද්දී
වීදි සරමින් ඇදෙන
කාකයන් බලද්දී

නොදැනීම මගෙ තරම
අනුව අන් සියල්ලන්
අඳුරු කුටි එකින් එක
රිංගමින් රස බැලිමි

පර බසක් ගිගුම් දෙන
ගැටෙන වීදුරු නදට
එක්ව පානා සිනහ
එක්ව පෑවෙමි මමත්

දුම් පිරුණු ගුහාවක
රත වැටුණු වතක් දැක
කොයි ලෙසද ඒ රසත්
ඉල්ලමින් පාවුනෙමි

හද හඬන හඬ නොදැන
ගිගුම් දෙන පොඩි ඉඩක
නොදන්නා තාලයට
සඳක් හා වැනුනි තව

යකාගේ හෝරාවෙ
අවසාන කනිසමට
රත් දෙනෙත් දුන් සිනා
සිත් නොදෙයි නික්මෙන්න

සියොත් සර නගද්දී
කැදලි හැර ඇදෙද්දී
මා ඇදුනි කූඩුවට
හෙටක් ගැන සිත් නැතිව

Wednesday, November 04, 2009

කොළඹ පෙන්නන ඒරොප්පෙ පික්චර්



යුරෝපා සංගමයේ තානාපති කාර්යාල සමග Alliance Française de Colombo එක්ව සංවිධානය කරන

'European Film Festival 2009 - යුරෝපීය සිනමා උළෙල 2009'


මෙම මස 7වැනිදා සිට දින 9ක කාලයක් පුරා කොළඹදී පැවැත්වේ. නැරඹිය යුතු චිත්‍රපට තෝරා බේරා ගැනීමේදී මෙවර ප්‍රේක්ෂකයින් අපහසු තාවයකට පත්වන්නේ එකවර ස්ථාන 4ක දර්ශන පැවැත්වෙන නිසා. නමුත් ඒ නිසාම දින 9කදී චිත්‍රපට 30ක් ප්‍රදර්ශනය කරන්නට සංවිධායකයින්ට අවස්ථාව ලැබී ඇත.

මෙහි මුල් දින රාත්‍රී දර්ශනය සුවිශේෂි වන්නෙ මෙවර 'කෑන්ස්' උළෙලේදී 'Cannes Classics' ගණයෙන් තිරගතවීමට තෝරාගෙන තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'ගම්පෙරළිය' චිත්‍රපටය තිරගත වන බැවිනි.

මෙම චිත්‍රපට උළෙල විවිධ රටවල නිමැවූ විවිධ අන්දමේ චිත්‍රපටි රැසකින් සමන්විත බැවින් ප්‍රේක්ෂකයන්ට මෙය මා හැඟි අවස්ථාවක් වනු නොඅනුමානය.

ප්‍රවේශපත්‍ර: සියළු දර්ශන නොමිලේ පැවැත්වේ
දිනය: 2009 නොවැම්බර් මස 7 වැනිදා සිට 15 වැනිදා දක්වා

ස්ථාන:
ප්‍රධාන සිනමා උළෙල - BMICH (9 films of 35mm)

සෙසු ස්ථාන - British Council / Goethe-Institut / Alliance Française (21 films, DVD screenings)

දර්ශන වේලාවන් : ප.ව. 5 සහ ප.ව. 7
උපසිරැසි: ඉංග්‍රීසි

කාල සටහන:



මූලාශ්‍ර: ප්‍රංශ තානාපති කාර්යාල වෙබ් අඩවිය

Monday, September 14, 2009

පැමිණ යන නුඹ...

විමසන්නෙ නුඹයි
මගහැරියෙත් නුඹයි
වද දෙන්නෙ නුඹයි
විඳවන්නෙත් නුඹයි
මුමුණන්නෙ නුඹයි
ඉකිබින්‍ඳෙත් නුඹයි

ඉරබටු තරුව නුඹයි
සැන්දෑ අහසත් නුඹයි
දිය දහර නුඹයි
මහ කඳුයායත් නුඹයි
සුපිපුනු මල නුඹයි
මුළු මල් යායත් නුඹයි

පැමිණියේ...
යළි ගියෙත්

ගැටළුවත් නුඹමයි
විසඳුමක් නැති
නුඹගාවවත්...

නිසොල්මනේ
මගෙ හිත
බලා ඉන්නද
මෙතනම...
මෙහෙම...?

Monday, September 07, 2009

මල්...

ඇදේ මල්
රොන් පුදන්නට
නොදුටු නොඇසූ
බඹර තුඩකට

පිපුණත් පෙරසේ
සුවඳ සළමින්
හමන සුළඟට
බෙදා සිනහව

සුළඟට යා වී
එන බඹර කැල
රොනට එන බව
කවුරු කීවෙද

ගුමු ගුමු ගුමු ගුමු
ළංවනු ඇසුනිද
ළංවනු වැරදිද
කවුරු කීවෙද

බඹර තුඩකට
රොන පිදූවට
මිලිනවෙන බව
කවුරු කීවෙද

හැමූ සුළ‍ඟේ
තරම නොදැනම
වැටුනු මල් ගැන
කවුරු ඇසුවෙද

Monday, July 20, 2009

නාට්‍යක්... නෑ හතරක්... බලමුද?

මාළුවො පාරෙ ඇවිදින්නෙ නෑ - ගස්වල තරු පායන්නෙ නෑ
අහසේ මල් දකින්න හිතුවට එහෙම වෙන්නෙ නෑ



තවත් වතාවක් කලා කටයුත්තක් ගැන ඔත්තුවක් තමයි කියන්න හිතුවෙ. සිංහල නාට්‍ය කලාව ලැදි හැමෝම වගේ රාජිත දිසානායකගේ නාට්‍යවලටත් දැඩිව ඇලුම් කරනවාට සැකයක් නෑ. ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය කලා කරුවෙක්. ඒ වගේම සම්මාන උළෙල ප්‍රදර්ශනයට පමණක් සිර වුණු නාට්‍ය ඔහුගේ නිර්මාණ අතර නෑ. ඔහුගේ සියළුම නාට්‍ය පාහේ දිවයින පුරා දර්ශන වාර විශාල ප්‍රමාණයක් වේදිකාගත වුණා.

රාජිත දිසානායක ගේ නාට්‍ය උළෙලක් මේ සතියේ පැවැත්වෙනවා. ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ. මෙම නාට්‍ය උළෙල සංවිධානය කරන්නෙ හුදෙක් සමාජය හා ගැටීමෙන් තමා ලද අද්දැකීම් කැටි කළ මේ නිර්මාණ ප්‍රේක්ෂකයාට නැවතත් රසවිඳීමට අවස්ථාවක් ලබාදීමට බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ ලයනල් වෙන්ඩ්‍ට් වලින් නොනැවතී මේ උළෙලම පිට පළාත්වලත් ප්‍රදර්ශනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් මෙම නාට්‍ය උළෙල රඟදැක්වීමට අවශ්‍යනම් සංවිධායකයින් අමතා කටයුතු සලස්වාගන්න පුළුවන්.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

ජූලි 23 - මට වෙඩි තියන්නෙ නැද්ද
ජූලි 24 - වීරයා මැරිලා
ජූලි 25 - සිහින හොරු අරං
ජූලි 26 - ආපහු හැරෙන්න බෑ

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


මෙහි ප්‍රවේශ පත්‍ර විශේෂයි...
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමට දැන් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියාව තිබෙනවා. සාමාන්‍ය නාට්‍යක මිළට වඩා අඩු මිළකට මෙම උළෙල සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙන බවත් දැනගන්න ලැබුනා. ඊට අමතරව විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයින් සඳහා සහන මිළ ප්‍රවේශ පත්‍රයක්ද තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර ගැනීමට මේ දිනවල ප.ව.2 සිට 4 දක්වා පමණක් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියි. තවද නාට්‍ය 4ම නැරඹීම සඳහාත් විශේෂ මිළකට ප්‍රවේශපත්‍රයක් ද තිබෙන බව දැනගැන්න ලැබුනා.

ඡායාරූපය: සිළුමිණ පුවත්පතෙන්

Thursday, July 09, 2009

'සංක්‍රමණ' - වාර්තා චිත්‍රපට උළෙලක්


ජූලි මස 17 සහ 18 දෙදින 'සංක්‍රමණ' (Migrations) යන මැයෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් කොළඹ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී නොමිලේ පැවැත්වේ.

මේ අතරට ප්‍රංශ, ජර්මානු, ඉන්දියානු, බංගලාදේශ සහ ශ්‍රී ලංකා චිත්‍රපට ඇතුළත් වේ.

දින දෙකෙහිදීම ප.ව. 3, 5 සහ 7 යන වේලාවන් හිදී ඉහත සඳහන් සංස්කෘතික මධ්‍යස්ථාන දෙකෙහිදීම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

කාල සටහන සඳහා මෙතැනට යන්න.

Alliance Française de Colombo - 11, Barnes Place, Colombo 7
Goethe-Institut Colombo - 39, Gregory's Road, Colombo 7

Saturday, July 04, 2009

උපන්දා මරණය (Death on Birthday)

තම පෙම්වතිය වන ජනකාන්ත නිළිය හමුවීමට පැමිණි මොහොතේදී සිදුවන අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ජනමාධ්‍ය හරහා තම රහස් ජීවිතය හෙළිවීම වළක්වාලීමට වෙරදරණ අමාත්‍යවරයෙකුගේ හාස්‍යජනක කතාපුවත් රැගත් සිංහල වේදිකා ප්‍රහසනය.

නාලක විතානගේ නාට්‍ය නිර්මාණ
උපන්දා මරණය
(Death on Birthday)


අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, මහින්ද තෙන්නකෝන්, උපාලි බණ්ඩාර, සංජය නාඋලගේ රංගනයෙන් දායක වන 'උපන්දා මරණය' ජූලි මස 12 වන ඉරිදා සවස 3.30ට සහ 6.30ට ලුම්බිණී රඟහලේදී මංගල වේදිකාගතවීම සිදු කෙරේ.

මෙම ලිපියේ කමෙන්ට් හරහා ද ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැක.



දර්ශන විමසීම්: බන්දුල විතානගේ (+94 11 281 1818 හෝ +91 71 858 1248)

Monday, May 25, 2009

තරු කළ හදිය...

පලාතම කිරියෙන් නාවමින්
අගේට පුන් සඳ පායා උන්නු
රෑ අහසෙ...

තරු දහසක් පායා
දීප්තියෙන්
රශ්මිය නංවා
දාහයද පතුරුවා
දවාලීය මුළු පසම...
ලොවක් බලා සිටියදී
හිරු සඳුත් සමඟ...

Thursday, May 21, 2009

ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙල 2009 - කොළඹ දී

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ස්ක්‍රීන් ඔස්ට්‍රේලියා සමග එක්ව සංවිධානය කරන 'ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙල 2009' කොළඹ දී පැවැත්වේ.

දිනය: මැයි මස 22 සිට 24 දින දක්වා
ස්ථානය:
බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමා ශාලාවේ
ප්‍රවේශපත්:
246 3200 (දිගුව 252) ඇමතීමෙන් නොමිලේ ප්‍රවේශපත්‍ර වෙන් කරගත හැක.

වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

මෑතදී සම්මානයට පාත්‍රවුණු චිත්‍රපට
ප්‍රදර්ශනය කෙරෙන අතර ඊට ළමා චිත්‍රපට දෙකක් ද අතුළත්ය.

චිත්‍රපට පෙළගැස්ම මෙ‍සේයි:

මැයි 22 සිකුරාදා
11 am Amy (ළමා චිත්‍රපටය)
3 pm Lantana (වැඩිහිටියන්ට වඩා සුදුසුය)
6:30 pm Strictly Ballroom

මැයි 23 සෙනසුරාදා
11am The Bank
3 pm The Magic Pudding (ළමා චිත්‍රපටය)
4:30 pm Harvey Krumpet
6:30 pm The Dish

මැයි 24 ඉරිදා
11am Crackerjack
3 pm Jindabyne
6:30 pm Ten Canoes



Monday, May 18, 2009

දෙවැනි නිදහස අදයි!

කඳුල
මරණ බිය
වෙඩි හඬ
ත්‍රස්තවාදය
සමග
ලේ පිපාසිතයාද නිමයි...

සිනහව
සතුට
සොම්නස
සමග
ජීවිත සුවඳ ගලා යෑමට ඉඩයි
දැන් ලක් දෙරණ...

ලේ මස් නරහ
තාරුණ්‍යය
අනාගතය
සමග
ජීවිතය අපට දුන් නුඹට,
රණ සොයුර
පින යි ලැබෙන්නේ
මේ ඇසෙන සතුටු සිනා හඬ යටකොට...

'දෙවැනි නිදහස' දැයට දුන්
නුඹට වුණු ණය ගෙවන්නම්

රකින්නම් නුඹේ දායාදය රටට
දිවුරුමයි මේ ඇසේනනේ
ගිගුම් දී දිගත
සිනහවද ප්‍රීතියද
ඔබ වෙනුවෙන් නැගෙන කඳුලුමය...!



Tuesday, May 12, 2009

WaSP InterAct දේශීයකරණයට ඔබත් එකතු වෙන්න...


WaSP InterAct යනු සිසුන්ගේ වෙබ් නිපැයුම් හැකියාවන් වෘතීමය මට්ටමට ගෙන ඒම අරමුණු කරගෙන සැකසුනු, web standards සහ best pratices මත පදනම් වුණු විවෘත විෂය මාලාවකි. මෙම විෂය මාලාවේ කරුණු විවෘතව භාවිතා කිරීමට හැකිවාක් මෙන්ම ඔබටද මෙයට අන්තර්ගතයන් එක් කළ හැකි ලෙස සැකසූවක්.

මෙහි මීළඟ අරමුණ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කොට ඇති මේ විෂය මාලාව දේශීයකරණය කිරීමයි. මෙය වෙබ් නිපැයුම්කරුවන්ට අත්‍යවශ්‍ය දැනුම බෙදා ගැනීමට භාෂාව බාධකයක් වීම වැළැක්වීමට ගත් උත්සාහයකි. මෙම දේශීයකරණ ව්‍යාපෘතිය සඳහා WaSP හි ILG සාමාජිකයන්ගේ මෙන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන දේශීය භාෂා පරිවර්තකයින්ගේද උදව් ලබා ගැනීමට නියමිතයි.

InterAct පරිවර්තයේ මූලික සැළසුම වන්නේ රටවල් ආශ්‍රිතව ILG සාමාජිකයින් සහ ස්වේච්ඡා පරිවර්තකයින් ගෙන් සමන්විත කණ්ඩායම් ස්ථාපිත කිරීමයි.

අපේ රටේ සිසුන්ගේ වෙබ් නිර්මාණය පිළිබඳ දැනුම භාෂා බාධකයකින් තොරව වර්ධනය කිරීමට හැකියාව ඇති පරිසරයක් ගොඩනැගීමට ඔබටත් සම්බන්ධ විය හැකියි. InterAct සිංහල භාෂා පරිවර්තනයට ඔබත් එක්වන්නට කැමති නම් peiris [at] gmail [dot] com යන ලිපිනය හරහා චාමර වෙත දන්වන්න.

WaSP InterAct පිළිබඳ වැඩි විස්තර සඳහා මෙහි පිවිසෙන්න.

Friday, April 24, 2009

World's biggest hostage operation in action


source: dailymirror.lk (http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=46965)

Tuesday, April 21, 2009

තේ උගුරේ කව...


බරක් නෙවෙයි උඹ අපට
සොයුරික් තවත්
උඹ වැනිම දසදහසක් අතර...
‍අම්ම අප්පා කොහේදැයි නොඅසා
බීපන් මේ තේ උගුර

බරක් නොවියන් රටට
ඉර නැගෙන හෙට දවසෙ
බබළාපන් රටම
මේ පුංචි මුතු ඇටය...
වැඩක් ඇති
මහ ගෑණියෙක් වෙලා...

ඡායාරූපය: defence.lk අඩවියෙන්

Friday, April 17, 2009

සිංහල බ්ලොග් මැරතන් 2009


සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය සංවිධානය කරන සිංහල බ්ලොග් මැරතන් එක අදයි...!

පළමු බ්ලොග් මැරතන් එක 2008 වසරේ අප්‍රේල් මස 18දා පැවැත්වුන අතර මේ දෙවැන්නයි. මීට අමතරව මිනි බ්ලොග් මැරතන් තරඟයකුත් පසුගිය දෙසැම්බරයේ සංවිධානය වුනා. පළවෙනි බ්ලොග් මැරතන් එකට දුවන්න මට ඉඩ නොලැබුණු බව ඒකාලෙ හිටපු අයට නම් මතකත් ඇති. :)

දැන් ඉතිං දෙවන බ්ලොග් මැරතන් එකට පැය 24ක් පුරා දුවන්න සූදානම් වෙනවා. මේ පාර පළවෙනි මැරතන් එක දුවපු සපත්තු දාන්න හිතුවත්, කාලිංගයි බුද්ධිකයි කියනවා ඒවා මීයො කාලලු. ඉතිං දැං ඒක හද හද ඉන්න වද වෙන්න බෑ. ඒ නිසා මිනි බ්ලොග් මැරතන් දුවපු සපත්තු ජෝඩුව හොඳා.

මෙවරත් ගියවර වගේම මැරතන් බලන්න ක්‍රම කීපයක්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සූදානම් කරලා තියනවා.


මීට අමතරව සුපුරුදු මඩ රේඩියෝවත් පැය 24ම ක්‍රියාත්මකයි. මෙවර එයට ටෙක්කතා එක් වී ‍තිබෙන නිසා තාක්ෂණික ගැටළු මේ පැය 24 පුරා සජීවීව ඉදිරිපත් කරලා විසඳුම් ලබාගන්න පුළුවන්. ඊට අමතරව ගීත ඉල්ලීම් සඳහාත් අවස්ථාව තියනවා.

මඩ රේඩියෝව අහන්නෙ මෙහෙමයි.
Windows Media Player : http://bit.ly/fxV62
Winamp/VLC/iTunes : http://bit.ly/McW59

ඔබ තවමත් ඔබේ මැරතන් බ්ලොග් අඩවිය ලියාපදිංචි නොකළේ නම් admin {at} sinhalabloggers {dot} com වෙත එහි විස්තර වහාම යවන්න. දුවන්න අදහසක් නැත්නම් දුවන අයට වතුර ගහන්නවත් ඒ පැත්තෙ ඇවිත් යන්න. මේක විවෘත ඇරයුමක්...! :)

Saturday, April 11, 2009

වැස්ස වළාහක දෙවියන්ට කියැවුණු කන්නලව්ව

ගොයම කිරි වෙන්නෙ නුඹ හින්දලු සත්තයි
වනපෙත නිල් වෙන්නෙ නුඹ හින්දලු සත්තයි
මහ ගඟ ගලන්නෙත් නුඹ හින්දලු සත්තයි
නුඹ නැතිදා මං නෑ මැරෙණව සත්තයි

අවුරුදු ඒලු කොවුලගෙ ගී ගැයේයා
ගහ මුදුනට ඔන්චිල්ලා බැ‍ඳේයා
වැස්ස වළාහක දෙවියනි ඇසේයා
වැස්සොත් සතුට නෑ පොඩි හිත් බි‍ඳේයා

ආසයි ඉර වටේ ඔන්චිලි පදින්ටයි
ආසයි කද බැඳන් නෑයන් දකින්ටයි
සිරිමා බෝ සමිඳු වැඳ හිත් හදන්ටයි
අවුරුදු දුන්න දෙවියනි මේ අහන්ටයි

අවුරුදු එන්නෙ ගම්මැද්දේ රොක්වෙන්ටයි
එරබදු පිපෙන්නේ ගම හැඩ කරලන්ටයි
කෙත එළි කරන්නේ දඟ දෙන කොලුවන්ටයි
අපි මේ යදින්නේ වැහි නෑවිත් ඉන්ටයි

අවුරුදු කුමාරය නාවොත් ගම්මැද්දෙන්
සෙත් කවි ‍නොවෙයි වස් කවි ඔහෙ කියවෙද්දෙන්
වැහි දෙවියනේ කියනා මේ දුක සද්දෙන්
අහලා පමාවී එව අපි පිං දෙද්දෙන්

අහස ගුගුරුවා ගිය තැනකින් එන්ටයි
පොළව දෙදරවා ගිය තැනකින් එන්ටයි
හුළඟ දෙබෑකර ගිය තැනකින් එන්ටයි
සරු කර ගොයම මයෙ යළි යලටත් එන්ටයි

Friday, April 10, 2009

කුණා‍ටුව විනිවිද...


චණ්ඩ මේඝයක් ඇදී
දෙපළු කර මහ වනය
වළා කැටි එකතු කොට
ගුලි ගසා වීසි කර

ගුගුරුවා මුළු අහස
පතුරමින් මරබියද
ගස් කොළන් විනිවිදියි
සුදු විදුලි එළි යමින්

අනෝරා වැසි හැලෙයි
පොළොව පොඟමින් දසත
තෙත බරිත කරවමින්
ඇස ගැටෙන පලාතම

ඉරක් නැති ඉමක්‍ නැති
පිරිය නම් නෙතට නැති
අඳුර පමණක්ම ඇති
මහ මේඝ රජදහන

හා ඇවිද යනු මැදින්
නොවී කිසිදින සලිත
නුඹ නොවෙයි පළමුවා
මේ ගමන පය තබන

ලෝකයක් ඇත බලා
නුඹ දකින තුරු එළිය
සමබරව ඇදෙනු මැයි
නොසැලීම සිත නුඹ


© රූපය මවිසින් Illustrator සහ Photoshop භාවිත කරමින් අඳිනු ලැබූවක්.

Sunday, March 29, 2009

අරුංගල් - වයලීනයේ ටෙලිරූ කව

මැදින් රූ බලි
බොරු හැඟුම් ගුලි
නැතිව බිය විලි
තිරයෙ රූ සිරි

එක සැරෙන් යළි
එපා වුණු සැටි
සිතක් නොකැලැති
නිසා නොබැලිමි

අහම්බෙන් යළි
නෙත ගැටුනු සැටි
සිත්තමක් එළි
වශීකෘත විමි

කවක්මැයි ටෙලි
අපූරුව එහි
නෙත් වැසෙන්නැති
මල් දමක් වැනි

මියුරු වෙණ පැදි
මන්මතින් වැදි
සිටින බව මෙහි
වගක් නොදැනුනි


'අරුංගල්' ටෙලිනාටකය අද මා දකින විට එහි කොටස් ගණනාවක් ගොස්ය. කතාවේ අගක් මුලක් නොදැනම එහි රූ පෙළහරට, මන බඳනා සංගීතයට වශී වූයෙමි. නෙත් අදහාගත නොහැකි වූයේ මේ ටෙලියක්මදැයි සිතුනි. සිනමා සිත්තමකට එහා ගිය රෑ-සර රසයක් අඩහෝරාවක ලැබීමි. ඒ බැලූ වින්දනය පද බවට මෙසේ පෙරලීමි.

Wednesday, March 25, 2009

ලෙල්ලට යනකං හූල්ලන කලා රසිකයෙක් La Brunante බැලුවාලු

බොහොම කාලෙක ඉඳන් වේදිකා නට්‍යක් බලන්න ආසාවක් හිතේ පැලපදියම් වෙලා තිබුණා. අන්තිම වතාවට බලපු වේදිකා නාට්‍යය කොයි එකද කියල හරියටම මතක නෑ. එක්කෝ ජනක් ප්‍රේමලාල්ගේ 'රජගහේ නාඩගම' නැත්තං බන්දුල විතානගේගේ (මතක හැටියට) පරිවර්තන නිෂ්පාදනයක් වන 'සමාවෙන්න වැරදීමක්'. ඔය දෙකින් එකක් බැලුවෙ එල්ෆින්ස්ටන්. අනික ජෝන් ද සිල්වා රඟහලේදි. කිව්වට විශ්වාස කරන්න ඒ 2001දි නැත්තං 2002 දි. එදා ඉඳන් අවුරුදු 7ක් විතර යනකන් වේදිකා නාට්‍යක් බලල නෑ! මොන තරං කාලකන්නියෙක්ද හැබෑට!

මෑත බාගෙයේ අළුත් මෙන්ම පැරණි (සහ පැරණි නාට්‍ය වල නව නිපැයුම් ලෙසත්) වේදිකා නාට්‍ය බොහොමයක් දිගහැරෙමින් තියනවා. 'හුණු වටයේ කතාව, කපුටු බෝ, කැළණි පාලම, සාරංගා නැවෙන් ඇවිත්' විතරක් නෙමෙයි 'ජන කරළිය' ජංගම රඟහලේ නාට්‍ය රොත්තත් ඒ අතර මතකයට එනවා. පේන හැටියට නම් වේදිකා නාට්‍ය කලාවට හොඳ කල දවසක් ඇවිත් වගේ. මේව ගැන 'දිවයිනේ' යන දැන්වීම් බල බල හූල්ල හූල්ල ඉන්නවා. අද යනවා... හෙට යනවා... හීල්ලිල්ල විතරයි... රස්සා කෙරිල්ල එක්ක නාට්‍ය බැලිල්ල මාර අභියෝගයක්!

අභියෝගය භාර ගන්නවද...? භාරගන්නවා හත්වලාමේ, හැබැයි කවද කොරයිද කියන්ඩ බෑ ඕං...

මේ අතර මම බලන්නම ආසාවෙන් හිටිය මගේ ප්‍රියතම නාට්‍යකරුවා සහ රංගන ශිල්පියා වන ජයලත් මනෝරත්නයන්ගේ අළුත් නාට්‍ය දෙකක්ම ආවා. මහගමසේකරයන්ගෙ කවිපද රචනා ඇසුරෙන් සෑදූ ඒ ගීතමය නාට්‍යයේ නමනං මතක නෑ. අනික තමයි තවමත් වේදිකාගත වන 'සුදු රෙදි හොරු'. ඊට අමතරව රාජිත දිසානායකගේ මං කැමති නාට්‍ය ගොන්නක්ම මට මගහැරුණා. අනේ අපොයි! ෆිල්ම් එකක් නං පස්සෙ DVD හොයාගන්න පුළුවන්. ඒත් මේව...! :(

හැබැයි මේ කාල පරාසය අතරේ චිත්‍රපටි රොත්තක් නම් බැලුවා. (නෑ නෑ..., ගෙදර ඉඳං බාගෙන බලන ඒව මෙතෙන්ට ඔට්ටු නෑ.) ගරිල්ලා මාකටිං, අස්වැසුම, වෑකන්ද වළව්ව, සංකාරා, උඩුගංයාමය, Dark Knight (දෙපාරයි), Madagascar II, Ironman, Hulk, Spiderman III, Transformers (දෙපාරයි), King Kong (දෙපාරයි) වගේ චිත්‍රපට ප්‍රදර්ශන ශාලාවටම ගිහින් බැලුවෙ සැබෑ 'පික්චර් හෝල්' ආශ්වාදයක් ලබන්න තියන කැමැත්ත නිසයි.

මට මේ හෑල්ල ලියන්න මුල් වුණේ අද මේ වගේ තවත් දොළදුකක් සංසිඳුවා ගත්ත දවසක් නිසයි. මම කලින් ලිපියේ කියපු ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලේ ඊයෙ රාත්‍රී 7 දර්ශනයට යන්න තරම් පූරුවෙ පිනක් තිබුණා. චිත්‍රපටියෙ නම තමයි La Brunante. ඉංගිරිසියෙන් නම Twilight (නොහොත් Dusk). ඒ කියන්නෙ සන්ධ්‍යාව නැත්තං ගොම්මන. Fernand Dansereau විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙය ප්‍රංශ භාෂාවෙන් කෙරුණු කැනේඩියානු නිෂ්පාදනයක්. චිත්‍රපටය බලල ඇති වුණු සිතුවිලි ටිකක් බොහොම කෙටියෙන් ලියන්න හිතුනා.

මේ කතාවෙ වස්තු බීජය Alzheimer disease කියන රෝගයයි. මේ රෝගී තත්වයෙන් පෙලෙන වයසක කාන්තාවක් සහ ඇයට අහම්බෙන් මුණගැසෙන තරුණියක් වටා කතාව ගලා යනවා. අහම්බෙන් හමුවෙන ඒ දෙදෙනාගෙ කතා බහෙන් සහ යම් යම් ක්‍රියාකාරකම් මගින් ඒ දෙදෙනාම මුහුණ පා සිටින්නෙ සමාන ප්‍රශ්නාවලියකට බව ප්‍රේක්ෂකයාට හඟවනවා. නමුත් ඔවුන් දෙදෙනාගේ අතර නොදැනුවත්වම ඇතිවන බැඳීම ඒ ජීවිත වල අරමුණු වෙනස් කරනවා. අවසානයේ ඒක එහෙම්මමත් නෑ කියලත් හිතෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලයේ තීරණය වන්නෙත් මේ ඇතිවන බැඳීම නිසාමයි. (ඔයාලත් චිත්‍රපටි හොයාගෙන බලන්න, මේ වගේ උඩින් පල්ලෙන් කියල දැම්මෙ බලන කෙනෙකුට කතාව කලින්ම දැනගත්තහම ඒකෙ ආශ්වාදයක් නැතිවෙයි කියලයි)

අධ්‍යක්ෂනය, රංගනය ආදිය උපරිමයි කියන්න බැරි වුණත් සෑහෙන ඉහල මට්ටමක තිබුණා. නමුත් කැමරාකරණය සහ සංස්කරණයේ යම් දුර්වලතා දැනුනා. කතාවේ ගලා යෑම (තිර රචනය) අතිශයින්ම සාර්ථක ලෙස සැකසුම්ගත කර තිබුනා.





කොහොම වුණත් අන්තිමේදි, ලෙඩක් වස්තු බීජය කොට ගෙතුනු කතාවක් වුණත් ඉන් අපට අපේ ජීවිත ගැනම අළුත් මුහුණුවරකින් හිතන්න යමක් ඉතිරි කරනවා. අපි ගැන විතරක් නෙමෙයි අප වටා ඉන්න අපේ පවුලේ උදවිය, මිතුරු මිතුරියන්, එදිනෙදා සමාජයේදි හමුවන විවිධ පුද්ගලයන් ගැන වුවද වෙනස් විදිහකට හිතන්න අපව පොළඹනවා.

මේ වෙනුවෙන් මගේ IMDB rating එක 7යි. :)

Monday, March 23, 2009

ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලක්


මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමාහලේදි ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. 'ප්‍රංශ භාෂා' කියා කීවේ, මෙහි ප්‍රදර්ශනය වන්නෙ ප්‍රංශයේ නිෂ්පාදිත චිත්‍රපට පමණක් නොවන නිසා. බෙල්ජියම, කැනඩාව, රුමේනියාව සහ ස්විස්ටර්ලන්තයේත් ප්‍රංශ භාෂාවෙන් නිපදවූ චිත්‍රපට මෙහි ප්‍රදර්ශනය වෙනවා.

මාර්තු මස 21 සිට 25 දක්වා 2:30, 4:30, 7:00 ලෙස දර්ශන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනවා.

මෙය Colombo Film Circle මගින් සංවිධානය කරන්නෙ ඉහත කී රටවල තානාපති කාර්යාලවල සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේද සහයෝගය ඇතිව.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලක ළමුන් වෙනුවෙන් චිත්‍රපට නොපෙන්වන තරම් වුවත්, මෙහි 2:30 දර්ශන සියල්ල ළමුන් වෙනුවෙන් තැනූ ඒවා. (2001 හෝ 2002දී BMICH එකේදිම තිබුනු ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙලකට තම ද‍රුවාද සමග පැමිණ සිටි මවක් චිත්‍රපටයේ සමහර දර්ශන දිගහැරෙද්දී අසුනින් නැගිට යනු දුටුවා මතකයි)

මෙහි කාලසටහන් සහ තවත් විස්තර මෙතනින් දැනගන්න.

මෙයින් එකකට හරි පැනගන්න වෙලාවක් හොයාගන්නෙ කොහොමද කියල මං මේ කල්පනා කරන්නෙ... ;)

Sunday, March 15, 2009

පැන්නයි සුදු පුල්ලියා...!

මුළු ලෝකෙන් පර්චස් දහයයි ඇත්තේ
'සති අන්තේ' වගාවකුත් එහි දැම්මේ
බලාපල්ලා හදියකි මේ මගේ කරුමේ
සුදු පුල්ලියා ඇවිදින් මගෙ වැට පැන්නේ






වගාවන් වලට වැළ‍ඳෙනවායැයි මේ කාලයේ මධ්‍ය වලින් නිතරම ඇහෙන සුදු පුල්ලි රෝගය අපේ පුංචි වගාවටත් ඇවිල්ලා. රෝගය වැළඳුනු අතු-ඉති කපා විනාශ කරන්නට පියවර ගත්තත් නැවත නැවත පුල්ලියා වැට පනිනවා වගේ. ගස හෝ වර්ගය කුමක්ද කියල මෙයාට වගක් නෑ. හැම ගහකටම වගේ වැළ‍ඳෙනවා.

සුදු පුල්ලි දිලීරය කතුරුමුරුංගා අත්තකට වැළඳී ඇති අයුරු මුල් රූපයෙන් ද, අළුත ලියලා එන මඤ්ඤොක්කා දඬු වලට වැළඳී ඇති අයුරු දෙවන සහ තුන්වන රූපවලින් ද දැක්වෙයි.

ප.ලි: සුදු පුල්ලි රෝගය ගැන වැඩ දුර කියා දුන් NUWAN's lane ලිපිය.

Wednesday, February 25, 2009

නොමිලේ පරිගණක චිත්‍රණ පාඨමාලාවක්

මේ අද දිවයින පත්තරෙන් ලැබුණු ඔත්තුවක් ඇසුරෙන්, හුදෙක් එක් අයෙකු හෝ ඉන් ප්‍රයෝජනයක් ගනී යන අටියෙන් පළ කරන බව කරුණාවෙන් සළකන්න.

පරිගණක චිත්‍රණ ශිල්පය (Computer Graphic Designing) හැදෑරීමට බලාපොරොත්තුවන තරුණ තරුණියන්ට 'ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය' මගින් නොමිලේ පවත්වන පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් භාරගනී.

සුදුසුකම්:
  • කුමන විෂය ධාරාවකින් හෝ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම.
  • තම පවුලේ මාසික ආදායම රු. 20,000 ට වඩා අඩු බවට අදාළ ග්‍රාම සේවක නිලධාරියා සහ ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කළ යුතුය.
පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර නිර්මාණශීලී හැකියාවන් ඇති අයදුම්කරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

අයදුම්පත් යැවිය යුතු ලිපිනය:
සහකාර අධ්‍යක්ෂ
ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
අංක 354, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට.
වැඩි විස්තර සඳහා අංශභාර උපදේශක (077-4445737) අමතන්න.

Friday, February 13, 2009

ඩිජිටල් දුම්බර රටා

Veerle's Blog කියන්නෙ ඉඳල හිටල මට යන්න හිතෙන තැනක්. චිත්‍රණ ක්ෂේත්‍රයෙ නියැලෙන අයට බොහොම වටිනා 'ක්‍රම සහ විදි' දැනගන්න හොඳ තෝතැන්නක්. පහත ‍තියෙන්නෙ එහි තිබුණු tutorial එකක් අධාරයෙන් Adobe Illustrator භාවිතාකරල හදපු නිර්මාණයක්. සරළ, ප්‍රාථමික මෝස්තර රටාවක්.






නමුත් මේක හදාගන්න ටිකක් විතර අනවශ්‍යලෙස මහන්සිවෙන්න ඕනෙ. මේකට මෘදුකාංගයෙන් ලබාගන්නා උදව් යම් තරමකට සීමාසහිතයි. ඒනිසාම මෙතනින් මට නතර වෙන්න හිතුනෙ නෑ. මෘදුකාංගයෙ තියන එක එක අරුමෝසම් ජාති (filters) මේකට ඔබල බැලුවා. එක එක විදිහෙ දේවල් වලට මේ සරළ රටාව පරිවර්තනය කරගන්න පුළුවන් වුණා. මට ඉතිං නිකමට හිතුනා බ්ලොග් එකේ මේව ටිකක් පළ කරන්න. :) පහත දැක්වෙන්නෙ ඉන් කිහිපයක්. සමහර ඒව දැක්කහම අපේ පැරණි මෝස්තර රටා සිහි වෙනවා. (ඩිජිටල් දුම්බර රටා කියල නම දැම්මට මේව දුම්බර රටා වගේනම් නෙමෙයි තමයි.) ;)












මතක හැටියට Veerle's Blog එක ගැන මට මුලින්ම කිව්වෙ චාමර මීට බොහොම කාලෙකට පෙර. ස්තූතියි! :)

Monday, February 09, 2009

මා දුටු දර්‍ශනයක් ( II කොටස )

පළමු කොටස මෙතැනින් කියවන්න.

නුගේගොඩදී දුටු ඒ මිනිසා නිසා මගේ සිතට ඇතිවූයේ මහා කේන්තියකි. නොරිස්සුමකි. මුදල් නොමැතිකමට හිඟාකෑම එකකි. නැතිබැරිකම කියා හිඟමනේ යන මිනිසුන් කොතෙක් වෙද්ද? එහෙත් මෙසේ මිනිසුන් රවටා මුදල් කඩාවඩා ගැනීම කෙසේ අනුමත කරම්ද? ඔහු සෙල්ලම් කළේ සෑම මිනිසෙකුගේම සිතෙහි අඩු වැඩි වශයෙන් ඇති දයාව, අනුකම්පාව සමගයි. අන්ත අසරණ දර්‍ශනයක් ජනාකීර්‍ණ තැනක අපූරුවට රඟදක්වන ඔහු විනාඩි කීපයකින් සෑහෙන මුදලක් සොයාගනී. දවස පුරා බස්වලට ගොඩ වෙමින් කවි හෝ සිංදු කියමින් වෙහෙසෙනවට වඩා මේ ක්‍රමය වෙහෙසකින් තොරය. ක්‍ෂණිකව දවස් ගාණකට මුදල් ලැබේ.

සමාජයේ එක් මිනිසෙකු තවත් මිනිසුන් ගණනාවක් තම අල්ලේ නැටවූයේ එ‍සේය. සත්‍ය නොදත් අනෙක් මිනිසුන් තමා දයාවෙන්කළ කාර්‍ය ගැන සතුටු සිතින් නිවෙස් බලා යති.

නමුත් තවත් මොහොතකින් මගේ සිතේ ඇතිවූ තරහ නිවීගියේය. උදාසීන හැඟුමින් සිත පිරීණි. හේතුව...

අද සමාජය සංකීර්ණය. අප දෑසින් දකින කිසිවක් සත්‍ය නොවේ. "Look beyond what you see..." පැච් ඇඩම්ස්ට මානසික රෝහලේදී හමුවූ මිතුරා කීවේ එසේයි. වංචාව, කුහකකම මේ සමාජය වසා පැතිරී ඇත. සත්‍ය වසා අසත්‍ය පෙනී සිටී. අප අසන දකින සෑම දෙයකම සත්‍ය වැසී ඇත. ඉතින් මම අර පදික වේදිකාවේ සිටි රංගන ශිල්පියා ගැන සිතුවෙමි.

ඔහු මේ රඟපාන්නේ කැමැත්තකින්ද? එවැන්නක් කරන්නට සමාජය විසින් ඔහුව පොළඹවා ඇත්ද? ඒ රඟපෑමට හේතු මොනවාදැයි මා දන්නේ නැත. කීයක් හරි හොයාගන්නට ජීවිතය පුරාම විවිධ දේ කළ ඔහුගේ නවතම ක්‍රමය මෙය විය හැකියි. තව ටික කලකින් ඔහු තවත් මුදල් මවන ක්‍රමයක් සොයාගනීවි! කෙසේ හෝ මෙසේ මුදල් සොයාගන්නේ නඩත්තු කරන්නට ඔහුට දරු පවුලක් සිටින නිසා වන්නට පුළුවන. රෝගයකට ගොදුරුවී සිටින ඔහුගේ මවට බෙහෙත් ගැනීමට විය හැකිය. නැතිනම් මත්කුඩු වලට ඇබ්බැහි වූවෙක්ද?

මේවාට පිළිතුරු නැතිව අසාධාරණයක් වන බව දැක දැකත් ඊට එරෙහිව යමක් කරන්නේ කෙසේද?

නුගේගොඩ මහරගම වැනි තැන්වල තනි මිනිසෙකුට මෙවැන්නක් කළ නොහැකි බවත් මට පසක් විය. එසේ නම් මේ සොයන මුදල් ඔහුට නොවිය හැකියි. හිඟන මුදලාලිලා ගැන රටම දන්නා නමුත් කිසිවෙක් කිසිවිටෙක ඔවුනට එරෙහි නොවෙති. "රන්සිරිගේ සංග්‍රාමය" කියවා බලා ඇත්නම් (නවකතාව - කුලසේන ෆොන්සේකා / ටෙලි නාට්‍යය - ජයලත් මනෝරත්න) මේ ගැන අවබෝධයක් ඔබටත් ඇති.

නුගේගොඩ හිඟන්නන් පාන්දර 3-4 වනවිට ගෙනත් තැන තැන දමති. රාත්‍රියේ නැවත් ගෙන යති. පිංතකා අප දෙන රුපියල දෙක, අවසානයේ නතරවන්නෙ වහල් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිණුමකය. අර හිඟන්නන්ට තුන්වේල යාන්තමට ලැබෙයි.

පින නම් අපට ලැබෙන්නේ අපේ සිතේ ඇතිවන සිතුවිලි සහ අරමුණු අනුවයි. "හිඟන්නෙකුට යම් මුදලක් දුන්නම මමනං දානයක් දුන්නාය කියල සතුටු වෙනව. ඒ මිනිහා ඒ සල්ලි වලින් කුඩු ගහනවද, මිනී මරණවද කියල හිතන්න යන්න ඕ‍නෙනෑ. මොකද දුන්නට පස්සෙ ඒ මුදල අපේ නෙමෙයි..." වරක් දයා රෝහණ අතුකෝරල මහතා දොරමඬලාව වැඩසටහනකදී එහෙම කිව්ව මතකයි. නමුත්, දානය ලබන්නාත් පිංවන්තයෙකු නම් එහි ආනිසංසය වඩා වැඩිබව මා අසා තිබෙනවා.

නුගේගොඩට එසේ ආනයනය කරන හිඟන්නන්ට අමතරව හිඟමනෙන් යැපෙන අසරණ පවුල් කීපයක්ම වෙසෙති. ඔවුන්ටද අර මුදලාලිලාට කප්පම් ගෙවන්න සිදුවනවාදැයි මා දන්නේ නැහැ. සුපිරි වෙළඳැල පිටුපස පවුල් දෙක තුනක් වෙසෙති. රේල් පාර අයිනේ අටවාගත් පැල්පත් වල තවත් පවුල් කීපයක්ම වසති. මොවුන්ගේ වෙනත් ජීවිකා ඇත්දැයි මා හට අවබෝධයක් නොමැත. නමුත් උදේ හවස දකින ඒ පවුල් වල පොඩි එවුන්ගේ අනාගතය කෙසේ නම් ලියවී ඇත්දැයි නිතර සිතේ.
________________________________________

"සල්ලි දෙයියන්ගෙ මල්ලි" අද සමාජයේ ආදර්ශ පාඨයයි. එය සත්‍යකි. මුදල්ම පමණක් මූලික වූ සමාජයේ වරක් දෙකක් උඩුගං බලා පීනන්නට උත්සාහ කළද අසරණ වන්නේ අපමය.

හදිසි අවස්ථාවක මුදල් නැතිනම් ගොඩ ඒමක් නැත. මාගේ සමීපතමයන් කිහිප දෙනෙකුට මෑතකදී සිදුවූ සිදුවීම් කිහිපයකදීම මුදල්වලින් තොර පිළිතුරු නොවීය. අසනීපයකදී, මරණයකදී මුදල් වෙනුවෙන් කේවල් කළ හැකිද?

මේ සිද්ධිදාමයන් ගැන සිතමින් සිටිනා අතරතුර ඊයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ධර්මසේන පතිරාජයන්ගේ "අහස් ගව්ව" චිත්‍රපටය නැරඹීමි. එහිද තේමාව වන්නේ විරැකියා ඔස්සේ ඇතිවන තරුණ අසහනයයි. 70 දශකයේ නාගරික තරුණයන් කිහිපදෙනෙකු වටා ගෙතුනු එම කතාවෙන් අසම්මත ක්‍රම ඔස්සේ මුදල් සෙවීමට ගොස් විනාශවන තරුණ ජීවිත ගැනද, අනතුරුව තමන්ටම හිමි මග සොයාගන්නා අන්දමද නිරූපණය වෙයි.

රුපියලේ කාසි වලින් අත්තිවාරම දමා තැනූ සමාජය නම් ගොඩනැගිල්ලේ විවිධ තට්ටුවල මිනිසුන් සරති. සමහරු මහල් නැග ඉහළ යති. සමහරු පහළ වැටෙති. කවුරු කෙසේ දිවි ගෙවුවත් එහි අත්තිවාරමේ ඇත්තේ රුපියල්ය.

"අහස් ගව්ව" ගැන වැඩිදුර තොරතුරු කියාදුන් තාත්තාටත්, මුලින්ම අර මනුස්සයා ගැන මට ඔත්තුව දුන් බුද්ධිකටත්, පැච් ඇඩම්ස් බලන්න මට අනුබල දුන් බෝටත් පළමු කොටස‍ට අදහස් දුන් සියළු දෙනාටත් තුති.

Sunday, February 08, 2009

මා දුටු දර්‍ශනයක් (I කොටස)

අවස්ථාව I
ස්ථානය : නුගේගොඩ සිටිටිම්බර් අසළ පදික වේදිකාව
දිනය/වේලාව : මීට සති දෙකකට පමණ පෙර සවස 6ට පමණ

මා දිනයේ රාජකාරි අහවර කොට රැකියා ස්ථානයෙන් පිටත්වුනේ රොටරිය පාරේ සිටින මිතුරෙක් මුණගැසීමට යාමේ අරමුණෙන්. පාගොඩ පාරේ නුගේගොඩ කොනෙන් ඇරඹෙන මේ ගමන පයින්ම යෑමට සිතා පදික වේදිකාව දිගේ පියමැන්නෙමි. සිටිටිම්බර් එක අසළ බස් නැවතුම ඒ මොහොතේ ඉතා ජනාකීර්ණ බවක් ඉසිලීය. සෙනග මැද්දෙන් අමාරුවෙන් රිංගා යන මගේ නෙත ගැටුනේ මෙවැනි අමුතුම දර්‍ශනයකි.

බාගෙට වගේ පැහුනු බොකුටු කොණ්ඩයක් ඇති කිලිටි සුදු කමිසයක් සහ කොට කලිසමක් ඇඳගත් කාල වර්‍ණ මනුස්සයෙක් පදික වේදිකාවේ ඇන තියාගෙන සිටියි. ඔහු වටා ඉහිරුණු සුදු සහල් පොදියක් ඔහු අමාරුවෙන් අතින් එක්රැස් කරමින් සිරි මල්ලකට පුරවන්නේය. එහෙ මෙහෙ දුවන මිනිසුන් අතරින් කිහිපදෙනෙක් මේ මිසනිසා වටා නතරවෙයි. ඉන් එක් අයෙක් මුදල් නෝට්ටුවක් අර මිනිසාට දිගුකරයි. ඒ දුන් මුදල කීයක්දැයි ගොම්මං කරුවලේ මට නොපෙනුණි. එතන ඇති කඩයෙන් යමක් මිළදී ගත් කාන්තාවක් මෙසේ කියයි. "අංකල්, ඔ‍ය හාල් දැං ගන්ඩ බෑනේ... මේක අරං ගිහින් කඩේකිං ගන්න..." නෝට්ටුවක් ඔහු අත තැබූ ඇය බස් රියකට ගොඩවීමේ අදහසින් නික්ම යයි. තවත් මිනිසුන් කීපදෙනෙක් අර මිනිසාට මුදල් දෙමින් එතැන කල්නොමරා පිටව යයි.
________________________________________

යම් හේතුවක් නිසා අසරණ වූ අර මිනිසාට අනුකම්පා සහගත තවත් මිනිසුන් උපකාර කරන අයුරු ගමනේ වේගය බාලකරමින් මම නැරඹීමි‍. ඒත් ඒ මිනිසා කෙරෙහි මගේ සිතේ අනුකම්පාවක් පැනනොනැගිනි. ඒ වෙනුවට නොරිස්සුමක්, තරහක්, කේන්තියක් ඇතිවුණි. ඊට හේතුව වූයේ මගේ මිතුරෙකු විසින් මීට මාසයකට පමණ උඩදී කියූ කතාවක් සිහිවීමෙනි.
________________________________________


අවස්ථාව II
ස්ථානය : මහරගම කාගිල්ස් ඉදිරිපිට
දිනය/වේලාව : ඉහත සිද්ධියට මාසයකට පමණ පෙර
(දිනක් රාත්‍රියේත් වැඩ කර කෑම ගන්නා අතරතුර අල්ලාප සල්ලාපයේදී මිතුරෙක් කී කතාවකි.)

මහරගම කාගිල්ස් වෙළඳසැලට ඇතුළු වන ගේට්ටුව අසළින් යමින් සිටි මිනිසෙක් හදිසියේම වෙවුලා ඇදගෙන වැටී ඇත. ගැහෙමින් කටින් සෙම පිටකරමින් සිටින මේ මිනිසා මීමැස්මොර රෝගියෙකු වග අනුමාන කළ හැකිය. වැටෙන මොහොතේ ඔහු අත වූ සිරිමල්ලේ තිබූ හුන්ඩුවක් දෙකක් පමණ වූ හාල් එහි තැන තැන විසිරී ගොස් තිබුණි.

මොහොතකින් එහි වටවූ පිරිස මේ මිනිසාට ප්‍රථමාධාර කොට ඔහුට සිහි එළවුනු තැන, දුක් අ‍ඳෝනා තබමින් අර සිරිමල්ලට විසිරුණු හාල් එකතුකරන්නට විය. මේ අනුකම්පා සහගත දර්‍ශනය දුටු පිරිස ඔහුට මුදලින් උපකාර කරන්නට වුණි. කාර්-බාර් වලින් කාගිල්ස් ආ නෝනලාද මහත්තයලාද ඒ අතර විය.

මගේ මිතුරා පැවසුවේ ඔහු මේ සිද්ධිය දු‍ටු දෙවන අවස්ථාව එය බවයි.

නුගේගොඩ සිද්ධිය දු‍ටු මසිතට අනුකම්පාවක් නොආවේ මේ කතාව සිහිවීම නිසායි.

(II කොටස බලාපොරොත්තු වන්න)

Wednesday, January 21, 2009

තෝරාදෙන්න, තේරෙන්නේ නෑ මේවා...!

පහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තෝරන්න.
බ්‍රිතාන්‍යයේ ජාතිත කොඩිය හඳුන්වන්නේ කුමන නමකින්ද?

  1. ජාතික කොඩිය
  2. යුනියන් ජැක්
  3. නොදනී
*****

මහින්ද යාපා අබේවර්ධන ඇමතිවරයා කළ ප්‍රකාශයක කොටසක් අද උදෑසන ලක්හඬ ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. ඇමතිතුමා කියා තිබුනේ අවසන් කොටි කඳවුරත් මානුෂීය මෙහෙයුමෙන් අත්පත් කරගත් පසු, ජාතික සමගිය ඇති කිරීමට විශාල වැඩපිළිවෙලකට රජය සූදානම් වන බවයි. ඔහු අවසානයේ මෙසේද කීවේය.

"අපි මේපාර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා අපි ඔසවන්නෙ සිංහ කොඩිය නෙමෙයි, ජාතික කොඩියයි"

*****

ඔන්න ඔතෙන්දි තමයි මට මාවම ෂුවර් නැති උනේ... මං දත-කට මූට්ටු කරගෙන මේ අවුල ලිහන්න හැදුවා... ම්හ්... බැහැ...

අනේ මට තේරෙන්නැතෝ... මට පිස්සු වාගේ... දන්න කෙනෙක් ඉන්නවනං මේ අපබ්‍රංසය තෝරලා දෙන්න...

මටනං තෙරිය ඉල්ලෙ... ඉට්ස් කොම්ප්ලිකේටඩ්...

පලි: කාටවත් මඩ ගහන්නවත්, කිසිම දේසපාලු පක්ෂයක් පොලිෂ් කරන්නවත් මෙය නොලියූ බව කරුණාවෙන් සළකන්න. සත්‍ය වශයෙන්ම ඉට්ස් කොම්ප්ලිකේටඩ් මය.

Monday, January 12, 2009

කහ පාට

සරළයි
අහිංසකයි
හිතා උන්න ව‍ගේමයි!

ඒත්
දෙගිඩියාව මාව ගිලගත්ත
බොඳවෙලා යනකන්

කහ පාට
එච්චරයි!

Saturday, January 03, 2009

නව වසරේ...

ශ්‍රී ලංකාවේ ඒකීයත්වය රැකගැනීම උදෙසා ඔබට මට කළ නොහැකි (නොකරන) උදාර මෙහෙයකට රටේ සිවුදිග මුරලා සිටින සියළුම රණවිරු සොයුරු සොයුරියන්ට නව වසරේ මගේ උත්තමාචාරය පිරිනැමේ...! (මේ රණවිරුවන් අතර මාත් එක්ක ඉස්කෝලෙ කාපු බීපු පිස්සු කෙලපු මිතුරන් රැසක්ද සිටින බව සිහිකරන්නේ පුංචි ආඩම්බරයකින්)

ලැබූ 2009 වසර ශ්‍රී ලංකාවේත් ලෝකයේත් සියළු සත්වයින්ට සතුට සැනසුම ජයග්‍රහණ පමණක් ළඟා කරවන, දුක් දෝමනස්සයන් පෙනෙන මානයටවත් නොම එන වසරක් වේවා...!

නව වසරේ ආරම්භයත් සමග රණබිමෙන් ඇසුනු පුවත් අතර ප්‍රධාන පුවත වූයේ ඊයේ දිනයේදී කොටින්ගේ ප්‍රධාන මරමස්ථානයක් වූත් ඔවුන්ගේ මනඃකල්පිත ඊලාමයේ ප්‍රධාන නගරය වූත් කිලිනොච්චි නගරය බේරාගත් බවයි. කොටි ත්‍රස්තයන්ගේ සියළුම මූලස්ථාන පිහිටි නගරය වූයේ කිලිනොච්චියයි. මේ අතරට කොටි වෙනුවෙන් පිටරට වලින් අරමුදල් රැස්කරන TRO මූලස්ථානයද, කොටි නායක පිරිබාහරන්ගේ තෙමහල් සුඛෝපබෝගී නිවසක්ද, තවත් විවිධ අංශ වල මූළස්ථානද වෙයි.

ඊයේ මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම ස‍ටනේදී කොටින් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වූ බවත්, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ සොයුරන් විශාල පිරිසක් දිවිපිදූ බවත් තවත් පිරිසක් තුවාල ලැබූ බවත්ය.

අපත් රටත් වෙනුවෙන් තම දිවි පූජා කළ ඒ සොයුරන්ට අපි කෙසේ නම් ණය ගෙවමුද! එවන් දරුවන් හැදූ වැදූ මව්පියන්ට, ඒ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට දරුවන්ට අපි අපේ යුතුකම් කොටස ඉටුකරන්නට පෙළ ගැසෙමු. අඩු තරමින් එසේවත් ඔවුන් වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබාදෙමු. දැනටත් සටන් පෙරමුණේ සිටින සොයුරන්ටත් එය මහත් ශක්තියක් වේවි. ඔවුන්ගේ අරමුණු කරා පියනගන්නට එය පිටුවහලක් වේවි.

මේ අතරතුරේ කිලිනොච්චිය අහිමිවීමේ කෝපයෙන් සිටින ත්‍රස්තයන් ඊයේ සවස කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළදී බෝම්බ ප්‍රහාරයක් සිදු කොට තිබිණි.



මේ කාලයේ රණවිරුවන් වෙනුවෙන් ගැයෙන ගීත නිතර අසන්නට ලැබෙනවා. ටික කාලෙකට කලින් නම් රණවිරුවන් වෙනුවෙන් ගැයුනු ගීත, දේශාභිමාණී ගීත ප්‍රචාරය කරන්නට මැලිවුනු එවැන්නක් කරන්න දෙවරක් සිතූ එෆ්එම් නාලිකා දැන් තරඟයට මෙන් එවැනි ගීත ප්‍රචාරය කරන්නෙ මොන තරම් අවංක හැඟීමකින්ද කියන එක ප්‍රශ්නයක්. ඒත් කොහොම හරි එවැන්නක් වෙන එකත් එක අතකට හොඳයි.

මටත් කාලෙකට පෙර අසා තිබූ එවැනි ගීතයක් මතක් වුනා. "වියරු වැලි තීරයේ..." දැන් වැඩිය ඇහෙන්නෙ නැති මේ ගීතය ගායනා කරන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන සමග ලිලන්ති කරුණානායක. මෙහි කියවෙන්නෙ රණවිරුවෙකුත් රණවිරු බිරින්දෑකෙනෙකුත් අතර ඇතිවන අදහස් හුවමාරුවක් ලෙසින්. බිරිඳ තම රණවිරු සැමියාට ලබාදෙන චිත්ත ශක්තිය හරිම දයාබරයි. එවැනි එඩිතර බිරින්දෑවරුන් අදටත් මේ රටේ කොයිතරම් නම් ඇත්ද?

මේ ගීතය Sinhala Jukebox එකේ නං තිබිලා හොයාගත්තා. Real Player ඇත්නම් මෙතන ක්ලික් කරලා ඒ ගීතය අහන්න පුළුවන්. ඒත් MP3 එක හොයාගන්න ආසයි. MP3 එක තියන කෙනෙක් ඉන්නවනං මට ලැබෙන්න සලස්වන්න. බොහොම පිං.