Sunday, December 07, 2008

අපූරු හඬක නිහඬ වීම

සුවිශේෂී සංගීත නිර්මාණ හැකියාවෙන් සහ අපූර්ව වූ හඬින් රසික සිත් සැනසූ මර්වින් පෙරේරා කලාවේදියානන් අද දින දැයෙන් සමුගෙන ඇති බව පුවත් වලින් දැනගත් මට එය අදහාගත නොහැකි විය. මා කුඩාකල සිටම ඔහුගේ ගීතවලට ඇල්මක් දැක්වූවා. ඒ ඔහුගේ බොහෝ ගීතවල තිබුනු සරළ පදමාලා සහ සංගීතය නිසා වෙන්න ඇති. වික්ටර්ට ක්ලැරන්ස්ට මා සිතෙහි වූ තැනට සම තැනක් ඔහුටත් හිමිවුනා. මා මුලින්ම ඇසුවේ ඔහුගේ "මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි..." ගීතයයි. එතුමාගේ ප්‍රථම ගුවන්විදුලි ගීය "සඳ මිදුලට එනවා..." ගීතයයි. එයින් පසු ගැයූ ජනප්‍රිය ගී අතර "ඔබ දේදුන්න, ආදරේ රන් බිඟුන්, කතරක තනිවී, පබසර රන් වළලු, නිලුපුල් යුවලේ" ආදිය වේ.

නිතරම බොක්ස් ගිටාරයක් අතින් ගෙන අප දකින නිසාදෝ ඔහු බටහිර සංගීතයට බරවූ ශිල්පියෙකු ලෙස බොහෝදෙනා සිතා සිටියත්, භාරතීය ශාස්ත්‍රීය සංගීතය මැනවින් හැදෑරූ දක්ෂ වයලින් වාදකයෙකි. වෘතියෙන් සංගීත ගුරුවරයෙකි. මේ සියල්ලටම වඩා එතුමා දක්ෂ සංගීත නිර්මාපකයෙකි. වික්ටර් රත්නායකයන් ගයන "පාවේ වලා..." ගීය ඔහුගේ පළමු නිර්මාණයයි. නන්දා මාලිනිය ගායනා කරන "දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්..." ගීයද ඔහුගේ තවත් නිර්මාණයකි.

දක්ෂ ගායකයෙකු, සංගීත රචකයෙකු, වාදකයෙකු ඔහු ඒ සැමට වඩා නිරහංකාර මිනිසෙකි. එතුමා දැයෙන් සමුගන්නා විට 69 වැනි වියෙහි පසුවූයේය.


2 comments:

  1. ඔහුගේ ගීත මමත් රසවින්දා. ඔහුටම ආවේණික ගැඹුරු වූ හඬකින් ගැයූ ගී දශක ගණනාවක් පුරා දනන් මුව අග රැව් දුන්නා.සඳ මිදුලට එනවා. මා ඉතා ආසා කල ගීයක්.

    ReplyDelete
  2. මර්වින් පෙරේරා සංගීතවේදියානන් මා මහත් ප්‍රියකල
    ගායන ශිල්පියෙක්. ඔහුගේ සියලුම ගීත රසාස්වාදනය
    කල හැකි අරුත්බර ගීත විධියටයි මා දැක්කෙ. ඔහුගේ හඩ හැගුම්බරයි. ලයාන්විතයි. ගීතවත්.
    "මා සනසා, උකුලක නැලවෙන බිලිදෙකු ලෙස,ආදී
    ගීතත් ඔබ දේදුන්න ආකාසයේ ගීතයත් මා බෙහෙවින් ප්‍රියකරනවා. සත්‍යය වශයෙන්ම ලයාදරයෙක් අහිමිවූවා රටට.

    ReplyDelete