Tuesday, November 11, 2008

දෙදාස් අටේ චිත්‍රපටි

මගේ බ්ලොග් එකේ මීට කලින් නොලියපු තාලෙ ලිපියක් මේ ලියන්න යන්නෙ. චිත්‍රපටි ගැන ‍පොඩි කතාවක්. මං බ්ලොග් එකේ චිත්‍රපටි ගැන පොඩි සමීක්ෂණයක් දැම්මා. ඒ සම්බන්ධයෙන් පෙරවදනක් තමයි මේ.

චිත්‍රපටි බලන එක බොහෝ දෙනෙක්ගෙ වගේම ම‍ගෙත් හොඳ විනෝදාංශයක්. කවුරු හරි ඇහුවොත් මොනව වගේ චිත්‍රපටි වලටද කැමතියි කියල, මට ඒකටනං දෙන්න උත්තරයක් නෑ. මොකද චිත්‍රපටි වර්ගය අනුව තෝරගෙන බලන කෙනෙක් නෙමයි මම. ඕනෙම වර්ගයක ඕනෙම භාෂාවක චිත්‍රපටි මං බලනව. හැබැයි බැලුවට පස්සෙනං ඒවයින් බොහොමයකට මෙතෙක් මගේන ලැබිල තියෙන්නෙ ඍණ ලකුණු. මං කැමති වෙන්නෙ හොඳ කතාවක්, අපූරු රංගනයක් වගේම, චිත්‍රපටියෙ නිෂ්පාදන අංශයෙනුත් (අධ්‍යක්ෂණය, කැමරා, සංගීතය, කලා අධ්‍යක්ෂණය, තාක්ෂණික භාවිතය ආදිය) ඉහළ මට්ටමක තියනවනං විතරයි. ඒ මට්ටම මේකයි කියල මට විස්තර කරන්න බැහැ. ඒක මට හැ‍ඟෙන විදිහ තමයි.

බොහෝ දෙනෙකුට වගේ මටත් වැඩිපුර බලන්න ලැබෙන්නෙ හොලිවුඩ් චිත්‍රපටි. (දන්නවනෙ, විවිධ මාර්ග වලින් ලැබෙනව ;) සිංහල චිත්‍රපටි බලන්න බොහොම කැමැත්තක් තිබුනත්, චිත්‍රපටි ශාලාවකට යන්න වෙලාව හොයාගන්න හරිම අමාරුයි. පුළුවන් හැම වෙලාවකම හොඳයි කියල හිතෙන සිංහල චිත්‍රපටියක් බලන්න කොහොම හරි යනව.

හොලිවුඩ් චිත්‍රපටි රසිකයන්ට 2008 වසර මතක හිටින වසරක්. මේ වසර තුළ නිකුත් වුණු බොහොමයක් චිත්‍රපට අති සාර්ථකයි. (මං කැමති වෙන්න හේතු වෙන සියළු කාරණා පාහේ ඒවායේ තිබුණා) මගේ සමීක්ෂණය වෙන්නෙ, මේ වසර තුළ නිකුත්වී, සාර්ථක වුණු චිත්‍රපටි කීපයක් ඇසුරෙන් වැඩි දෙනාගේ මනාපය දිනාගන්නෙ මොන චිත්‍රපටියද කියල තෝරන එකයි. හැබැයි ඡන්දෙට දාල තියන චිත්‍රපටි 6 තේරුවෙ මගේ කැමැත්ත අනුව. ඒ අතරින් කැමතිම එක තෝරන එක තමයි ඔයාලගේ වැඩේ. ;)

චිත්‍රපටි ලැයිස්තුව මෙහෙමයි;
Iron Man
The Incredible Hulk
Wall-E
The Dark Knight
Indiana Jones and the Kingdom of the Crystal Skull
Madagascar - Escape 2 Africa

මේ ලැයිස්තුවෙන් Wall-E හැර අනෙක් 5ම ලංකාවෙ ශාලාවල ප්‍රර්ශනය කළා. (Madagascar - Escape 2 Africa ළඟදීම ප්‍රදර්ශනය කිරීමට නියමිතයි)

Iron Man, Hulk සහ The Dark Knight කියන චිත්‍රපටි 3ම පැරණි චිත්‍රකතා පොත් ඇසුරෙන් නිපැයුනු කතාවීම විශේෂත්වයක්. මං හිතන්නෙ මේ දවස්වල හොලිවුඩ් වල තියන එක රැල්ලක් තමයි චිත්‍රකතා වීරයින් සිනමාවට නගන එක. ඒකට වගකියන්න ඕනෙ X-Men සහ Spiderman චිත්‍රපටියි. (Iron Man හි දෙවැන්න ලබන වසරේදී - එනම් මුල් චිත්‍රපටයෙන් එක් වසරකට පසුව ප්‍රදර්ශනය කිරීමට නියමිතවීම විශේෂත්වයක්)

Wall-E කියන්නෙ බොහොම අපූරු ත්‍රිමාණ කාටූන් චිත්‍රපටියක්. එහි කතාවටත් ව‍ඩා මගේ හිත ගියේ Wall-E කියන රොබෝවට එහි නිර්මාපකයන් විසින් දී තිබූ හැඟීම් ප්‍රකාශකිරීමේ ආකාරයයි. ඒ රොබෝවෙන් සතුට, දුක, බය, ආදරය, කරුණාව වගේ හැඟීම්, වචනයෙන් විස්තර ළ නොහැකි තරම් අපූරුවට එහි නිර්මාපකයන් විසින් ප්‍රකාශය කරණු ලැබුවා. එය නම් විශිෂ්ට "ඇනිමේෂන්" විස්කමක්.

මේ ලැයිස්තුවේ ම‍ගේ ප්‍රියතම චිත්‍රපටියත් තියනවා. ඒ තමයි The Dark Knight. එය Batman Begins චිත්‍රපටියේ දෙවන කොටසයි. පැය 2කට අධික කාලයක් දිවෙන මෙහි, සෑම තත්පරයක්ම ත්‍රාසයෙන් අනූනව කතාව ගලායෑම අතිවිශිෂ්ටයි. සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට කතාවෙහි ගලායාමට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නෙ ඒ නිසාමයි. කතාවෙහි 'වීරයා' Batman (Christian Bale) වුවද, එහි 'සතුරා' වන Joker (Heath Ledger) ගේ චරිතය මෙතෙක් හොලිවුඩයෙන් පිටවුනු සියළුම චිත්‍රපටිවල සිටි සතුරන්ගේ චරිතයන්ගෙන් හාත්පසින්ම වෙනස්, චිත්‍රපටය පුරා ප්‍රධාන තේමාව පවට පත්වන චරිතය බවට පත්කොට ඇති ආකාරය, සුවිශේෂ කතා ලිවීමේ ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා. අති සූක්ෂම ‍සොරකු වන Joker ලෙස Heath Ledger කරන සාර්ථක රඟපෑම එදා මෙදාතුර චිත්‍රපට ඉතිහාසයේ දැක්වුනු හොඳම රංගනයන් අතලොසට එක්වන බවට චිත්‍රපට විචාරකයින් පැවසීම අතිශොක්තියක් නොවෙයි. (Heath Ledger නම් විශිෂ්ඨ රංගන ශිල්පියා The Dark Knight ප්‍රදර්ශනය වීමටත් පෙර අකාලයේ මෙලොවින් සමුගත් බව කණගාටුවෙන් ලියාතබමි.) කතා ලිවීම, අධ්‍යක්ෂණය, රංගනය උසස්ම තලයක තිබෙන මෙම චිත්‍රපටියේ සංගීතයද සුවිශේෂයි. ප්‍රේක්ෂකයාගේ ත්‍රාසය තව තවත් තීවෘකරන අයුරින් සංගීතය මුසුකර තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නැති තරමට සාමාන්‍යයි.

මෙතරම් විශිෂ්ඨයැයි මා කියන, මගේ ප්‍රියතම චිත්‍රපටියේ එක් වැදගත් අතපසුවීමක් "දෙවනි වරටත්" චිත්‍රපටි ශාලාවේ එය නරඹද්දී මට අසුවුණා. එය සංස්කරණ / සහාය අධ්‍යක්ෂණ / කලා අධ්‍යක්ණ ‍දෝෂයක් විය හැකියි. (මං හරියටම කෝකද කියල කියන්න දන්නෑ.) කතාවට ඉන් හානියක් නැතත්, එය යම් පමණකට චිත්‍රපටියේ ප්‍රතිරූපයට හානිකර විය හැකි බවයි මගේ හැඟීම. අතපසුවීම මෙතැන යැයි මා මෙහි සඳහන් නොකර, පසු දිනක ලිවීමට සිතුවා.

තවත් ත්‍රිමාණ සජීවීකරණයක් වන Madagascar - Escape 2 Africa චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රධර්ෂණය ඇරඹුනේ පසුගිය නොවැම්බර් 7වැනිදායි. එයද Madagascar නම් චිත්‍රපටියේ දෙවැන්නයි. මේ වන විට ඇමරිකානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරමුණෙහි සිටිනව. ලංකාවේ චිත්‍රපටි ශාලාවකත් මෙය ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වුවත්, කවදාද යන්න තවම සඳහන් නැහැ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නම් මා මීට පෙර බ්ලොග් සටහනක පළකලා.

දැන් ඉතින් ඔය‍ගොල්ලන්ට තියෙන්නෙ මගේ පුංචි සමීක්ෂණයට තමන්ගේ මනාපය ලකුණු කරල දායක වෙන එකයි. ඒකට බොහොම ස්තූතියි! චිත්‍රපටි වැඩි වැඩියෙන් බලන්න ලැබේවා!! ;)






17 comments:

  1. ඔන්න මම දැම්මා මගේ කොමෙන්ට් එක... මේක මාර ඉස්ටෝරියක් නෙ.. ඔබ විසින්ද මේක ලියා පල කලේ?

    ReplyDelete
  2. ඔබෙගේ ලිපිය ඉතා අගනේය. නමුත් මම මෙය ගැන යමක් කිව යුතුය. Indiana Jones චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් ලෙස තිරගත නොවුනි. එහි හදුන්වාදී තිබු පිටසක්වල ජීවින්ගේ කතාව, Indiana Jones චිත්‍රපටය විකුර්ති කිරීමකි. Indiana Jones රසිකයන්ගේ ආකල්පය අනුව, Jones වෘතාන්ත, පුරාණ මිත්‍යා මත ගොඩනැගුනු කතාවක් වීමයි, Raiders of the Lost Ark, Indiana Jones and the Last Crusade,මීට කදිම නිදසුන්‍ වේ.

    ReplyDelete
  3. Wall-E තමයි ඔය අතරේ තියෙන එකම හොඳ චිත්‍රපටිය. මම හිතන විදියට කතාවෙන් තේරුමක් ගන්න පුලුවන් Wall-E වලින් විතරයි. ඔබ කිව්වා වගේ රොබෝ දෙන්නාගේ හැඟීම්. අනාගත මිනිස්සු ආදී මේ හැමදෙයකටම හොඳ අවධානයක් දීලා නිර්මාණය කරලා තියෙනවා...

    ReplyDelete
  4. ඔන්න මමත් ඡන්දය ප්‍රකාශ කළා.
    ඒත් කෝ 'මම මීයා' නැහැනෙ ලිස්ට් එකේ? :)
    Indiana Jones... ගැන නම් කතා කරන්න එපා. මේ බලන්න. නන්නත්තාරයි.

    ReplyDelete
  5. Madagaskar 2

    ලයිස්තුවට මේ චිත්‍රපටිත් එක් කර ගන්නවද?
    10000 BC
    Wanted
    Jumper
    Street Kings
    The Bank Job

    ReplyDelete
  6. මගේ වැඩිම කැමැත්ත Wall-E ට

    ReplyDelete
  7. මගේ වැඩිම කැමැත්ත Wall-E ට.

    ReplyDelete
  8. හයියෝ මට තාම wall-e බලන්න ලැබුණෙ නෑ. ඒක බලන්න ආසාවෙන් ඉන්නෙ කාලෙක ඉඳන්. :(

    ReplyDelete
  9. @ නාලක,
    ඔව් මා විසින් තමා ලියා පල කළේ. ඇයි සැකද? බිපෙසි. නාලක මලයත් සිංහල බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තොත් නරකද?

    @ djmlog103, ශාකුන්තල,
    "Indiana Jones" ලැයිස්තුවට එක් කලේ ඒ කතා මාලාවට මගේ තිබුනු කැමැත්ත නිසයි. ඒත් එකතු කරන්න වෙනත් චිත්‍රපටි සෑහෙන්න තියනව තමයි.

    @ චමිල,
    ඔව්, මටත් Wall-E බලන්න ලැබුනෙ මෑතකදි. මං විශ්වාස කරන විදිහට "ඩිස්නිලාට විතරක්" කරන්න පුළුවන් දෙයක් තමයි මේ පණ නැති දේවලින් හැඟීම් පල කිරීමේ කලාව.

    @ අමල් ඉෂාන්ත,
    ඔව්, තව ගොඩක් චිත්‍රපටි තියනව සාර්ථක වුණු. ඒකනෙ 2008 චිත්‍රපටි ලෝලීන්ට හොඳ වසරක් කිව්වෙ. ඒත් මං මේ ලැයිස්තුවට එක්කලේ මං ගොඩක් කැමති වුණු සහ ලංකාවෙ ප්‍රදර්ශනය කරපු ඒව අතරින් 6ක්. (Indiana Jones නම් වැරදීමක් වගේ... ;)

    ReplyDelete
  10. @ Malinthe Samarakoon,
    M3 තියනතාක් උඹට ෆිල්ම් බලන්න වෙන්නෙ නෑ පුතෝ. SLT එකට පෙත්සමක් හරි ගහල ADSL ගන්න බලපං.

    ReplyDelete
  11. @ අමල් ඉෂාන්ත, Keerthi ගවේෂක,
    කමෙන්ට් එකේ මනාපය ලකුණු කරල බෑ. බ්ලොග් එකේ තියන රතු කොටුවෙ තමයි මනාපය දාන්න ඕනෙ. :)

    ReplyDelete
  12. ඔව් ඔව් අයියා, සින්හල බ්ලොග් එකක් ලියන්න ඕන.. ඒත් ඉතින් කොහෙන්ද ඕවට වෙලා :(

    ReplyDelete
  13. ඔබගේ poll එකට Indiana Jones වලට වැඩි චන්ද ලැබීම් ගැන, මා විශ්මයට පත්වෙමි.
    දිලූප...

    ReplyDelete
  14. ඡන්ද මංකොල්ලයක් වෙලා වගෙයි. බ්ලොගර් poll එකක දාන්නයි අදහස.

    ReplyDelete
  15. මල කෙළියයි! :D
    ඔය ලැයිස්තුවෙන්ම මම බලලා තියෙන්නේ යකඩයා (Iron Man) විතරයි නෙව.

    හැබැයි මේ අවුරුද්දේ ආපු හින්දි තොගයක් නම් බලලා අහවරයි. :D

    විභාගේ අහවර කරලා ඔය සෙට් එක බලන්න ඕනෑ ටොරන්ට් වලටයි aXXoටයි පින්සිද්ද වෙන්නේ තමයි යකඩයා සහ ඇදහිය නොහැකි හල්ක් මහතා ඩවුන්ලෝඩ් කරගත්‍තේ. යකඩයා නම් දැන් මාසයකට විතර කලින් බැලුවේ. ඇදහිය නොහැකි හල්ක් ගොයියා ළඟදී බාගත්තේ. හිටු විභාගේ ඈවර වෙනකන්! :D

    ම්... කෝ මේ මාගේ uTorrent යාළු‍වා... ඔහෙ හිටු! ;)

    ReplyDelete
  16. ආ... මේ....
    කුන්ග් ෆු පැන්ඩා මලයත් එළ නෙව ;)

    ReplyDelete
  17. @SRIshanu
    මන් කලින්ම madagaskar 2 එකට චන්දේ දැම්මේ. හතරදෙනාගේ වැඩ බලන්ට ආස හිතෙනවා ‍

    ReplyDelete